ආදර සබඳතාවල ස්වභාවය වෙනස් කරන 'බැඳීම් න්‍යාය': ඔබේ සබඳතාව කෙබඳු එකක්දැයි වටහා ගන්න

    • Author, ජොෂ් එල්ජින්
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 9

ලිසීගේ ආදර සබඳතා සෑම විට ම අවසන් වූයේ, එක ම ආකාරයෙනි. "මම දෙවැනි, තුන්වැනි හමුව දක්වා යද්දී, මට ඒ අයගේ මොකක් හරි වැරද්දක් පේන්න ගන්නවා."

තමා බොහෝ කාලයක් තිස්සේ ආශාවෙන් බලාපොරොත්තු වූ සබඳතාව සැබෑවක් වෙමින් පවතින බව දැනෙන්න පටන් ගත් සැණින්, එම බැඳීම ඇයට අපහසුදායක, ඇතැම් විට තර්ජනාත්මක දෙයක් ලෙස පවා හැඟෙන්නට විය. එවිට ඇය එම සබඳතාවයෙන් ඈත් වන්නට පුරුදු වී සිටියා ය.

වසර ගණනාවක් තිස්සේ, එයට හේතුව ඇයට පැහැදිලි කළ නොහැකි විය. එහෙත්, පසුව ඇය 'attachment theory' (බැඳීම් සිද්ධාන්තය) හඳුනා ගත්තා ය.

එහි විස්තර කෙරෙන බැඳීම් රටා හතරෙන් එකක් ලෙස හැඳින්වෙන 'සැලසුම්සහගත නොවන බැඳීම්' (fearful-avoidant) පිළිබඳව කියවූ විට, එය තමන් ගැන ම කියැවෙන දෙයක් සේ ඇයට හැඟෙන්නට විය.

එමගින් විස්තර කරන්නේ අන් අය සමග සමීප සබඳතා ගොඩනගා ගැනීමට කැමති නමුත්, තම ජීවිතයේ සිටින පුද්ගලයන් අවසානයේ තමන්ව ප්‍රතික්ෂේප කරනු ඇතැයි හෝ අත්හැර දමනු ඇතැයි නිරන්තරයෙන් බිය වන පුද්ගලයෙකු පිළිබඳව ය.

ඒක නිකම් අවුරුදු ගාණක් තිස්සේ ප්‍රේහේළිකාවක් විසඳන්න උත්සහ කරන කෙනෙකුට නැති වෙලා තිබුණ කොටස හම්බවුණා වගේ," ලිසී පවසයි.

මෙය ඇය පමණක් මුහුණ දෙන ගැටලුවක් නොවේ. 'බැඳීම් පිළිබඳ න්‍යාය' ගැන උනන්දුව සහ අවධානය පසුගිය කාලයේ ජනතාව අතර වේගයෙන් ව්‍යාප්ත වී තිබේ.

TikTokහි #AttachmentTheory ලෙස ටැග් කර ඇති වීඩියෝ සිය ගණනක් මිලියන වාර ගණනක් නරඹා ඇති බව නිරීක්ෂණය කළ හැකි ය.

ජනප්‍රිය සංස්කෘතිය තුළ ද, ජනප්‍රිය නවකතාවක් සහ රූපවාහිනී කතා මාලාවක් වන Normal Peopleහි මේරි ඈන් සහ කෝනල් අතර ඇති සබඳතාවේ සිට සෑම් ෆෙන්ඩර් සහ ඔලිවියා ඩීන්ගේ වාර්තා බිඳ හෙළූ අංක එකේ ගීතය Rein Me Inහි පද රචනා දක්වා බොහෝ දේ පැහැදිලි කිරීමට බැඳීම් පිළිබඳ න්‍යාය භාවිත කෙරේ.

"මම ඒක මුලින් ම අහද්දී මගේ ඇස්වලට කඳුළු ආවා," ලිසී පවසයි.

ඇයට අනුව, එම ගීතය සැලසුම්සහගත නොවන බැඳීම් රටාවේ දෙපැත්ත ම නිරූපණය කළේ ය: ආදරය පවා දරාගත නොහැකි තරම් බියක් ඇති කිරීමත්, අනෙක් පුද්ගලයා ඈත් වූ විට දැනෙන ව්‍යාකූලත්වයත් එහි අන්තර්ගත විය.

බැඳීම් රටා 4 මොනවා ද?

1950 දශකයේදී බ්‍රිතාන්‍ය මනෝ වෛද්‍යවරයෙකු වූ ජෝන් බෝල්බි විසින් මුලින් ම ඉදිරිපත් කරන ලද 'බැඳීම් පිළිබඳ න්‍යාය'ට (Attachment Theory) අනුව, කුඩා වියේදී අපව රැක බලාගත් පුද්ගලයන් සමග ගොඩනැගෙන බැඳීම් අපගේ සබඳතා පිළිබඳ අපේක්ෂාවන් හැඩගස්වයි.

අවශ්‍ය අවස්ථාවලදී සහයෝගය නිරන්තරයෙන් ලැබෙන්නේ නම්, ඔබ බොහෝවිට අන් අය විශ්වාස කළ හැකි පුද්ගලයන් ලෙස දැකීමට වැඩි ඉඩක් ඇත. එහෙත්, රැකවරණය අස්ථාවර නම් හෝ චිත්තවේගීය වශයෙන් දූරස්ථ නම්, බලාපොරොත්තු කඩවීම් හෝ මානසික පීඩාවලින් තමන්ව ආරක්ෂා කර ගැනීම සඳහා විවිධ හැසිරීම් රටා වර්ධනය කර ගැනීමට ඔබ පෙළඹිය හැකි ය.

There are four attachment styles - anxious, avoidant, fearful-avoidant and secure. In simple terms they are defined as follows:

බැඳීම් රටා (attachment styles) ප්‍රධාන වශයෙන් 4කි: ඒ, කණස්සලුසහගත (anxious), මගහරිනසුලු (avoidant), අසංවිධිත (fearful-avoidant) සහ ආරක්‍ෂිත (secure) යනුවෙනි. සරලව කිවහොත් ඒවා මෙසේ අර්ථ දැක්විය හැකි ය.

  • කණස්සලුසහගත අනාරක්ෂිත බන්ධන රටාව (Anxious Attachment) සාමාන්‍යයෙන් ප්‍රතික්ෂේප වීම හෝ අත්හැර දැමීම පිළිබඳ බිය සමග සම්බන්ධ වේ. මෙවැනි පුද්ගලයින් තමන්ට සමීප අයගෙන් නිතර සහතික කිරීම් බලාපොරොත්තු විය හැකි අතර, තමන් පිළිබඳ අඩු වටිනාකමක් ද දැනීමට ඉඩ තිබේ. අන් අයගේ හැසිරීම්වල සුළු වෙනස්කම් පවා ඉක්මනින් නිරීක්ෂණය කිරීමට ඔවුහු සංවේදී වෙති.
  • මගහරිනසුලු අනාරක්ෂිත බන්ධන රටාව (Avoidant Attachment) ඇති පුද්ගලයෝ තම ස්වාධීනත්වයට වැඩි ප්‍රමුඛතාවක් ලබා දෙන අතර, චිත්තවේගීය වශයෙන් විවෘත වීමට හෝ අන් අය මත යැපීමට අපහසුතාවක් දක්වති. ඔවුන් සමීප සබඳතා තම නිදහසට තර්ජනයක් ලෙස අවිඥානිකව දැකිය හැකි අතර, සබඳතා චිත්තවේගීය වශයෙන් ඉතා සමීප වන විට ඒවායින් ඈත් වීමට ද පෙළඹිය හැකි ය.
  • අසංවිධිත අනාරක්ෂිත බන්ධන රටාව (Fearful-Avoidant Attachment / Disorganised) ඇති පුද්ගලයන් සමීප සබඳතා බලාපොරොත්තු වුව ද, ඔවුන්ට එවැනි සබඳතා තුළ සුරක්ෂිත බවක් දැනීමට බොහෝවිට අපහසු වේ. ඔවුන් එක් මොහොතක සමීපත්වය සොයන අතර, ඊළඟ මොහොතේ ඈත් විය හැකි ය.
  • ආරක්‍ෂිත බන්ධන රටාවක් ඇති පුද්ගලයෝ සබඳතා තුළ සමීපත්වය සහ ස්වාධීනත්වය යන දෙක ම සමබරව භාර ගැනීමට හැකියාවක් දක්වති. ඔවුහු සාමාන්‍යයෙන් අන් අය විශ්වාස කිරීමට, තම අවශ්‍යතා පැහැදිලිව ප්‍රකාශ කිරීමට සහ අවශ්‍ය අවස්ථාවලදී සහයෝගය ඉල්ලා සිටීමට සමත් වෙති.

පර්යේෂණවලින් පෙනී යන්නේ, ආරක්‍ෂිත බන්ධන රටාවක් ඇති පුද්ගලයින් ආදර සබඳතා තුළ පමණක් නොව, ජීවිතයේ බොහෝ අංශවලදී වඩා හොඳින් කටයුතු කරන බව ය. ඔවුහු මානසික ආතතිය වඩාත් සාර්ථකව කළමනාකරණය කරන අතර, ප්‍රතික්ෂේප වීම හෝ අහිමිවීම් වැනි අභියෝගවලට ද වඩා හොඳින් මුහුණ දෙති. එමෙන් ම, රැකියා ස්ථානයේදී වඩා හොඳ සගයන් සහ කළමනාකරුවන් වීමට ද ඔවුහු හැකියාවක් දක්වති.

සබඳතා තේරුම් ගැනීම සඳහා ආරම්භ වූ මෙම න්‍යාය, අද වන විට මිනිසුන්ගේ සබඳතා හැසිරවීම කෙරෙහි ද වැඩි වැඩියෙන් බලපෑම් කරමින් පවතී.

සමාජ මාධ්‍ය හරහා, බැඳීම් රටා (attachment styles) භාවිත කරන්නේ මිත්‍රත්ව සබඳතා නැවත අගැයීමට, පවුල් තුළ ඇති ආතතීන්ට හේතු තේරුම් ගැනීමට හෝ අනාගත සහකරුවන් විය හැකි පුද්ගලයන් පිළිබඳ තීරණ ගැනීමට ය.

එමෙන් ම, සබඳතා උපදේශකයෝ, සහකරුවෙකු තුළ ඇති චිත්තවේගීයව විවෘත නොවීමේ සැඟවුණු ලක්ෂණ හඳුනා ගැනීමේ ක්‍රම හෝ කණස්සල්ල සහිත අනාරක්ෂිත බන්ධන රටාව ජය ගැනීමට උපකාරී වන ක්‍රමවේද හෙළිදරව් කරන බවට ද පොරොන්දු වෙති.

බන්ධන න්‍යාය පිළිබඳව පවතින වැරදි මත

එසෙක්ස් විශ්වවිද්‍යාලයේ මනෝ විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්යවරයෙකු වන ආචාර්ය පැස්කල් වර්ටිකා, දශක දෙකකට ආසන්න කාලයක් පුරා බැඳීම් පිළිබඳව අධ්‍යයනය කරමින් සිටී.

මිනිසුන් අන් අයගෙන් සහයෝගය සහ සම්බන්ධතා අපේක්ෂා යන ආකාරයේ වෙනස්කම් පැහැදිලි කිරීමට මෙම න්‍යාය "වඩාත් හොඳ පැහැදිලි කිරීම්වලින් එකක්" ලබා දෙන බව ඔහු පවසයි.

මෙම න්‍යාය කෙරෙහි පුළුල් අවධානයක් ලැබීම පිළිබඳව තමන් සතුටු වන බව ඔහු පැවසුව ද, එය අර්ථකථනය කරන ආකාරය ඇතැම් විට "යල් පැනගිය, වැරදි තොරතුරු මත පදනම් වූ සහ නරක ම අවස්ථාවලදී හානිකර" විය හැකි බවට ද ඔහු අනතුරු අඟවයි.

"මම හිතන්නේ, මිනිස්සු මේක අතිශයින් සාමාන්‍යකරණය කිරීම. ඒ වගේ ම අපේ හැසිරීම් පැහැදිලි කිරීමට වඩාත් සුදුසු රාමුව මේක නොවන අවස්ථාවලදී පවා, එය භාවිත කිරීම ගැටලුවක්," යැයි ඔහු පවසයි.

ඔහු පැහැදිලි කරන පරිදි, ගැටලුවේ එක් කොටසක් වන්නේ බැඳීම් න්‍යාය පිළිබඳ මුල්කාලීන අදහස් එය ප්‍රථම වරට ඉදිරිපත් කළ දා සිට වෙනස් වී තිබීම ය.

වර්ටිකා පවසන්නේ, බැඳීම් රටා ස්ථිරව ම පවතින බවට ඇති විශ්වාසය බන්ධන න්‍යාය පිළිබඳ පවතින විශාලතම වැරදි අවබෝධයන්ගෙන් එකක් බව ය.

පර්යේෂණ කිහිපයකින් එම රටා කාලයත් සමග යම් මට්ටමක ස්ථාවර බවක් පෙන්නුම් කරන බව හෙළි වී තිබුණ ද, වෙනස් වීමක් සිදුවිය හැකි බව වර්ටිකා අවධාරණය කරයි.

"ශුභාරංචිය තමයි, පර්යේෂණ සාක්ෂි අනුව ආරක්‍ෂිත බන්ධන රටාව (secure attachment) වඩාත් ම ස්ථාවර රටාව වීම. ඒකෙන් අදහස් වෙන්නේ, ඔබ ආරක්‍ෂිත බන්ධන රටාවක් හදාගත්තා ම, සාමාන්‍යයෙන් ඒක දිගට ම පවත්වාගෙන යාමට වැඩි ඉඩක් ඇති බව යි," යැයි ඔහු පවසයි.

බැඳීම් රටා බොහෝවිට වෙනස් වන්නේ ජීවිතයේ සංක්‍රාන්ති අවස්ථාවන්හිදී බව ඔහු පවසයි. විශේෂයෙන් ම, තරුණයන් තම පවුලෙන් පිටත සමීප සබඳතා ගොඩනැගීමට පටන් ගන්නා නවයොවුන් විය එවැනි වැදගත් අවධියකි.

ඊට අමතරව, නව සබඳතාවකට පිවිසීම, සබඳතාවක් බිඳ වැටීම හෝ ආදරණීය පුද්ගලයෙකු අහිමි වීම වැනි ජීවිතයේ පසුකාලීන අත්දැකීම් ද බැඳීම් රටාවන්ට බලපෑම් කළ හැකි ය.

කෙසේ වෙතත්, එවැනි වෙනස්කම් ක්‍රමයෙන් සිදුවන බවත් දිගු කලක් තිස්සේ මුල් බැස ගත් බැඳීම් රටා ඇති පුද්ගලයන්ට වෙනසක් ඇති කර ගැනීම සඳහා වෘත්තීය සහය අවශ්‍ය විය හැකි බවත් ඔහු පවසයි.

ලිසී පවසන්නේ, බන්ධන න්‍යාය පිළිබඳ සාකච්ඡාවලදී බොහෝවිට අහිමි වන දෙය මෙම සියුම් වෙනස්කම් බව ය.

ඇතැම් පුද්ගලයන් "නරක ම දෙය ඉක්මනින් උපකල්පනය කිරීමට" පෙළඹෙන අතර, අනෙක් අය ලේබල්වලට සීමා කරන බව ඇය පවසයි.

කෙසේ වෙතත්, අනාරක්ෂිත බැඳීම් රටා ඇති පුද්ගලයන් දෙස වැඩි සංවේදීභාවයකින් බැලිය යුතු බව ඇය පැවසුව ද, තමන් පිළිබඳ අවබෝධයක් තිබීමේ වැදගත්කම ද ඇය පිළිගනී.

"මට නම්, අනෙක් අය මගහැරලා ඒ අය සමග ගැටෙන එකෙන් වැළකීම විෂ සහිත බව මම දන්නවා. ඒ නිසා මේ මොහොතේ කෙනෙක් එක්ක ආදර සබඳතාවකට යාම සාධාරණ දෙයක් නොවෙයි," යැයි ඇය පවසයි.

එහෙත්, අනාරක්ෂිත බැඳීම් ඇති පුද්ගලයන්ට සෞඛ්‍ය සම්පන්න සබඳතා පවත්වාගෙන යා නොහැකි බව එයින් අදහස් නොවන බව ඇය පවසයි. "ඒක පිළිගෙන, සුවපත් වීම සඳහා උත්සහ ගැනීම ඔබේ වගකීමක්," යැයි ඇය වැඩිදුරටත් පවසයි.

ආරක්‍ෂිත බැඳීම් රටාවක් ඇති කර ගන්නේ කෙසේ ද?

බන්ධන න්‍යාය පිළිබඳ අදහස ප්‍රධාන ධාරාවට ගෙන ඒමට ආචාර්ය අමීර් ලෙවීන්ට වඩා විශාල බලපෑමක් කළ පුද්ගලයන් සිටින්නේ ඉතා සුළු පිරිසකි.

රේචල් හෙලර් සමග එක්ව ඔහු විසින් රචනා කරන ලද 'Attached' කෘතිය ප්‍රථම වරට 2010දී ප්‍රකාශයට පත් වූ අතර, එතැන් සිට ලොව පුරා පිටපත් මිලියන ගණනක් අලෙවි වී තිබේ.

එහෙත්, ලෙවීන්ගේ නවතම කෘතියේදී ඔහු අවධානය යොමු කරන්නේ, බැඳීම් රටා හඳුනා ගැනීමෙන් ඔබ්බට ගොස් වෙනස් ප්‍රශ්නයක් වෙත ය: ඔබ ආරක්‍ෂිත බැඳීම් රටාවක් ගොඩනගා ගන්නේ කෙසේ ද?

ඔහු පවසන පරිදි, එයට පිළිතුරේ එක් කොටසක් ඇත්තේ, ඔහු "SIMIs" ලෙස හඳුන්වන එනම්, පෙනෙන ආකාරයට වැදගත් නොවන කුඩා අන්තර්ක්‍රියා (seemingly insignificant minor interactions) තුළ ය.

මිතුරෙකු ඔබේ සති අන්තය ගැන විමසමින් එවන පණිවිඩයක්. ආගන්තුකයෙකුගෙන් ලැබෙන සිනහවක්.

"මොළය සෑම විට ම මෙවැනි කුඩා අන්තර්ක්‍රියා නිරීක්ෂණය කරනවා," යැයි ලෙවීන් පවසයි. "බන්ධනයක් කියන්නේ අන්න ඒක යි. එය ආරක්ෂාව සඳහා ඇති නිරීක්ෂණ පද්ධතියක්."

මෙවැනි අන්තර්ක්‍රියා ක්‍රමයෙන් සබඳතා පිළිබඳව මොළය තුළ ඇති අපේක්ෂාවන් හැඩගස්වන බව ද ඔහු පවසයි.

ධනාත්මක අත්දැකීම් මගින් අන් අය විශ්වාස කළ හැකි සහ ඔවුන් මත රඳා සිටිය හැකි බවට සාක්ෂි ගොඩනැගෙන අතර, එමගින් පුද්ගලයෙකු ඔහු "සුරක්ෂිත තත්ත්වය" (secure mode) ලෙස හඳුන්වන තත්ත්වය වෙත ක්‍රමයෙන් ගෙන යාමට උපකාරී වේ.

එහෙත්, ඒ හා සමානව, පණිවිඩයකට පිළිතුරු දීමට ප්‍රමාද වීමක් හෝ මිතුරෙකු සැලසුම් කළ දේ ඉටු නොකිරීමක් වැනි සිදුවීම්, ස්නායු පද්ධතිය තුළ සියුම් ආතති ප්‍රතිචාර ඇති කළ හැකි ය.

වැදගත් කරුණක් ලෙස, විවිධ පුද්ගලයන් සමග අපට විවිධ බැඳීම් රටා තිබිය හැකි බව ලෙවීන් පවසයි.

එබැවින්, තම ජීවිතයේ දැනටමත් තමන්ට ආරක්ෂිත බවක් සහ අවබෝධයක් දැනෙන සබඳතා හඳුනාගෙන, "සමස්තයක් ලෙස වඩාත් සුරක්ෂිත බැඳීමක් වර්ධනය කර ගැනීමේ මාර්ගයක් ලෙස" ඒවා භාවිත කරන ලෙසට ඔහු ජනතාව දිරිමත් කරයි.

වර්තමාන සබඳතා හරහා සුරක්ෂිත බව ගොඩනගා ගත හැකි බවට ඇති අදහස, බැඳීම් යනු ළමා වියේ අත්දැකීම්වල ප්‍රතිඵලයක් පමණක් ලෙස දැකීමෙන් ඉවත් වන පුළුල් වෙනසක් පිළිබිඹු කරයි.

ඇතැමෙකුට, බැඳීම් න්‍යාය පිළිබඳ අවබෝධයක් ලැබීම යනු පවුල් සබඳතා නැවත සලකා බැලීමක් විය හැකි අතර, එය ඇතැම්විට අමනාපයක් ඇති කිරීමට ද හේතු විය හැකි ය. එහෙත්, ලෙවීන් පවසන්නේ, "එය ඔබ ආරම්භ කළ තැන ගැන පමණක් නොව, ඉන්පසු සිදුවන දේ ගැනත්," බව ය.

"ඒ ආකාරයේ සිතීම ඔබට ඔබව තේරුම් ගැනීමට සහ ඉදිරියට යාමට උපකාරී වෙනවා නම්, එය ප්‍රයෝජනවත්," යැයි ඔහු පවසයි.

"නමුත් එය ඔබව සිරවී සිටින බවක් හෝ ඔබට හානි වී ඇති බවක් දැනීමට හේතු වෙනවා නම්, එය නිවැරදි අදහසක් නෙවෙයි. මොක ද මිනිසුන්ට සැබවින් ම වෙනස් විය හැකි නිසා."

එමෙන් ම, අනාරක්ෂිත බැඳීම් පවා ඇතැම් අවස්ථාවල ශක්තීන් බවට පත්විය හැකි බව ලෙවීන් පෙන්වා දෙයි.

කණස්සල්ල සහිත අනාරක්ෂිත බැඳීම් රටාවක් ඇති පුද්ගලයන් බොහෝවිට සබඳතා පිළිබඳ ඉතා සංවේදී අවධානයකින් සිටින බව ඔහු පවසයි. අන් අයට නොපෙනෙන මනෝභාවයේ, කතා කරන ස්වරයේ සහ හැසිරීම්වල සියුම් වෙනස්කම් පවා ඔවුහු හඳුනා ගැනීමට සමත් වෙති. එමෙන් ම, වැළැක්වීමේ අනාරක්ෂිත බන්ධන රටාවක් ඇති පුද්ගලයෝ දැඩි ලෙස ස්වාධීන විය හැකි අතර, පීඩනය යටතේ හොඳින් කටයුතු කිරීමට ද සමත් වෙති.

කෙසේ වෙතත්, බැඳීම් රටා හොඳ හෝ නරක ලෙස පමණක් දැකිය යුතු නැති බවට වර්ටිකා එකඟ වුව ද, ඒවා සමග "යම් අවදානම් සහ අභියෝග පැමිණෙන" බව ඔහු අවධාරණය කරයි. එම අංශ නොසලකා හැරිය යුතු නැති බව ද ඔහු පවසයි.

එහෙත්, දෙදෙනා ම එකඟ වන්නේ, බන්ධන න්‍යාය වඩාත් ප්‍රයෝජනවත් වන්නේ එය මිනිසුන්ට තමන්ගේ හැසිරීම් රටා තේරුම් ගැනීමට උපකාර කරන විට මිස, තමන්ව නිර්වචනය කිරීමට භාවිත කරන විට නොවන බව ය.