ඇමෙරිකාව සමග ගිවිසුම්ගත වීමක් නුදුරේදී සිදු නොවන බව ඉරානය පවසයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, පෝලින් කෝලා
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 5
ඇමෙරිකාව සමග කළ සාකච්ඡාවලින් යම් ප්‍රගතියක් ලබාගෙන තිබුණ ද, ගිවිසුම්ගත වීමක් "නුදුරේදී සිදු නොවන" බව ඉරානය පවසයි.
එරට විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රකාශක එස්මයිල් බකායිගේ මෙම ප්‍රකාශ සිදුවන්නේ, ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සඳුදා ගිවිසුමකට එළඹිය හැකි බවට ප්‍රකාශ කිරීමෙන් පසුව ය.
"සාකච්ඡාවට ලක් වූ ප්‍රශ්නවලින් බහුතරයක් සම්බන්ධයෙන් අපි විසඳුමකට පැමිණ ඇති බව කීම නිවැරදියි," යැයි බකායි සඳුදා ටෙහෙරානයේදී පැවසීය. "නමුත් එයින් අදහස් වෙන්නේ නැහැ ගිවිසුමකට ඉක්මනින් අත්සන් තැබීමක් - කිසිවෙකුටත් එවැනි ප්‍රකාශයක් සිදු කළ නොහැකියි."
මෙම අවබෝධතා ගිවිසුමට සටන් විරාමය දින 60ක් දක්වා දීර්ඝ කිරීම, හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සහ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ වැඩිදුර සාකච්ඡා සඳහා සැලැස්මක් ඇතුළත් වන බව වාර්තා වේ.
සති අන්තයේදී ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් දෙපාර්ශ්වය ගිවිසුමකට ආසන්න වෙමින් පවතින බව සඳහන් කළ ද,පසුව "ඒ සඳහා කලබල නොකරන ලෙස" ඔහු තම නියෝජිතයින් වෙත උපදෙස් දුන් බව පැවසීය.
සඳුදා රූබියෝ, ඉන්දීය අගනුවර වන නව දිල්ලියේදී වාර්තාකරුවන්ට මෙසේ පැවසීය: "අපි හිතුවේ අපිට ඊයේ ප්‍රවෘත්තියක් ලැබෙයි කියලා. සමහර විට අද වෙන්න පුළුවන්."
"මහා ලොකුවට ඒ ගැන හිතන්න එපා," යනුවෙන් අනතුරු ඇඟවූ රූබියෝ, "ඉරානයෙන් ප්‍රතිචාරයක් ලැබෙන්න යම් කාලයක් ගත වේවි," යනුවෙන් පැවසීය.
බීබීසීයේ ඇමෙරිකානු හවුල්කරු වන සීබීඑස් පුවත් වාර්තා කරන්නේ, ඉරානයේ උත්තරීතර නායක මොජ්තබා කමේනි (යුද්ධයේ පළමු දින ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් තුවාල ලැබීය) රහසිගත ස්ථානයක සැඟවී සිටින බව ඇමෙරිකානු බුද්ධි අංශ විශ්වාස කරන බවත් එමගින් ඔහුට තම නියෝජිතයන් සමග සන්නිවේදනය කිරීම දුෂ්කර වීම හේතුවෙන් ඇමෙරිකාව සමග සාකච්ඡා ප්‍රමාද වී ඇති බවත් ය.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ඇමෙරිකානු මාධ්‍යවලට අනුව, යෝජිත ගිවිසුම අවසාන විසඳුමක් නොවන අතර, ඉදිරියේදී සාකච්ඡාවට ලක් කළ යුතු ප්‍රධාන ගැටලු කිහිපයක් ගෙන හැර දක්වයි. ඒ අතර ඉරාන සම්බාධක සහනවල විෂය පථය සහ කාල නිර්ණය, අත්හිටුවන ලද ඉරාන අරමුදල් නිදහස් කිරීම සහ ඉරානයේ න්‍යෂ්ටික අභිලාෂයන් මැඩපැවැත්වීම සඳහා වොෂින්ටනයේ ඉල්ලීම් ඇතුළත් වේ.
"සමුද්‍ර සන්ධිය විවෘත කිරීමේ හැකියාව සම්බන්ධයෙන් මේසය මත ඉතා ශක්තිමත් යෝජනාවක් තිබෙන බව මම හිතනවා," යැයි ඔහු හෝමූස් සමුද්‍ර සන්ධිය ගැන සඳහන් කරමින් පැවසීය. එය ලෝකයේ තෙල් සහ ද්‍රව ස්වභාවික වායු 20%ක් පමණ ප්‍රවාහනය කරන සහ ඉරානය විසින් අවහිර කරනු ලැබ ඇති තීරණාත්මක ජල මාර්ගයකි.
ගිවිසුමක් පිළිබඳව ඇති වූ අපේක්ෂාවන් හේතුවෙන් සඳුදා තෙල් මිල දැඩි ලෙස පහළ වැටුණු අතර, ආසියානු කොටස් වෙළඳපොළවල වර්ධනයක් සිදු විය.
ගිවිසුම පිළිබඳව වාර්තා වීමත් සමග ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය තුළ බෙදීම් ඇති කර ඇති අතර, ඇතැම්හු එය ඉරානය සම්බන්ධයෙන් තදබල නොවන බවට විවේචනය කරති.
සෙනෙට් සභික ටෙඩ් කෲස් එය "විනාශකාරී වැරැද්දක්" බව පැවසූ අතර, සෙනෙට් සන්නද්ධ සේවා කමිටුවේ සභාපති රොජර් විකර්, දින 60ක සටන් විරාමයක් "Operation Epic Fury මගින් සාක්ෂාත් කරගත් සියල්ල නිෂ්ඵල කරනු ඇතැයි," පැවසීය.
ට්‍රම්ප්ගේ සමීප සගයෙකු වන සෙනෙට් සභික ලින්ඩ්සේ ග්රැහැම් ද, ඉරානය කලාපයේ ප්රමුඛ බලවේගයක් ලෙස සලකන ඕනෑ ම ගිවිසුමක් විවේචනය කරන බව පැවසීය.
"ඒකෙන් යුද්ධය ආරම්භ කළේ මොන හේතුවක් නිසා ද යන ප්රශ්නය මතු කරනවා," යැයි ඔහු පැවසීය.
ට්‍රම්ප් මේ පිළිබඳ ප්‍රතිචාර දක්වමින් පැවසුවේ, "කිසිවක් නොදැන දේවල් විවේචනය කරන පරාජිතයින්ට සවන් දෙන්නේ නැහැ," යනුවෙනි.
"මම ඉරානයත් සමග ගිවිසුමකට එළඹෙනවා නම්, ඒක හොඳ සහා නිවැරදි එකක් වේවි," යැයි ඔහු Truth Socialහි සඳහන් කළේ ය.
සියල්ල හොඳින් සිදු වුව ද, ගිවිසුමක ප්‍රතිඵල එකවර නිරීක්ෂණය නොවනු ඇත.
"අර්බුදයට පෙර තිබූ ආකාරයට ම භෞතික වශයෙන් සමාන" සැපයුම් දාමයන් වෙත නැවත යාමට නැව් කර්මාන්තයට හැකියාව ලැබීමට මාස කිහිපයක් ගත විය හැකි බව Vespucci Maritimeහි ප්‍රධාන විධායක නිලධාරී සහ Maersk නැව් සමාගමේ හිටපු අධ්යක්ෂ ලාර්ස් ජෙන්සන්, BBC රේඩියෝ 4හි Today වැඩසටහනට පැවසීය.
ඇමෙරිකාව සහ ඉරානය කඩිනමින් ගිවිසුමකට එළඹිය ද කර්මාන්තය තුළ "විශාල වශයෙන් වෙළෙඳ කටයුතු සිදුවීම ප්‍රවේශම්සහගතව සහ මන්දගාමීව සිදුවනු ඇතැයි ජෙන්සන් පැහැදිලි කළේ ය.
ඇමෙරිකාව සහ ඊශ්‍රායලය පෙබරවාරි 28 දින ඉරානයට එරෙහිව විශාල ප්‍රහාර මාලාවක් එල්ල කළ අතර, එය මැද පෙරදිග පුරා ගැටුම් අවුළුවාලීය. ඉරානය ඊට ප්‍රතිචාර දැක්වූයේ ඊශ්‍රායලයට සහ ගල්ෆ් කලාපයේ එක්සත් ජනපද මිත්‍ර රාජ්‍යයන්ට පහර දීමෙන් සහ හෝමූස් සමුද්‍ර සන්ධිය සාර්ථක ලෙස වසා දැමීමෙනි.
එය ගෝලීය තෙල් මිල විශාල වශයෙන් ඉහළ නැංවූ පියවරක් විය.
අප්‍රේල් මස මුලදී සටන් විරාමයකට එකඟ වී යම් කලකට පසු, එක්සත් ජනපදය ඉරාන වරායන් අවහිර කළ අතර, ට්‍රම්ප් පවසන්නේ එය "ගිවිසුමකට එළඹීම සහතික කරන තුරු සහ අත්සන් කරන තුරු පූර්ණ බලයෙන් බලපැවැත්වෙන" බව ය.
ඉරිදා Truth Socialහි සටහනක් තබමින් ට්‍රම්ප් නැවතත් අවධාරණය කළේ, ඉරානය "න්‍යෂ්ටික ආයුධයක් සංවර්ධනය කළ නොහැකි බව" අවබෝධ කරගත යුතු බවයි. නමුත් ටෙහෙරානය නැවත නැවතත් පවසා ඇත්තේ, තම න්‍යෂ්ටික වැඩසටහන සම්පූර්ණයෙන් ම සාමකාමී අරමුණු සඳහා පමණක් වන බව ය.
ඇමෙරිකානු මාධ්‍යවල පළ වන ඇතැම් වාර්තා අනුව, මෙම ගිවිසුම යටතේ ඉරානය අවසානයේ තමන් බලගැන්වූ යුරේනියම් ලබා දීමට එකඟ විය හැකි බව ද සඳහන් වේ.
යුද්ධය ආරම්භයේදී ඉරානය සතුව යුරේනියම් කිලෝග්‍රෑම් 440ක් (රාත්තල් 970ක්) පමණ තිබූ බවත් එය 60%ක සංශුද්ධතාවකින් බලගැන්වූ
බව සැලකේ. එනම්, න්‍යායාත්මකව න්‍යෂ්ටික බෝම්බයක් නිර්මාණය කිරීමට ඉඩ සලසන ආයුධය සඳහා යොදා ගත හැකි 90% මට්ටම දක්වා තවදුරටත් පොහොසත් කිරීමට අවශ්‍ය වන්නේ කෙටි ක්‍රියාවලියක් පමණි.
ඉරාන ජනපති මසූද් පෙසෙශ්කියාන් ඉරාන රාජ්‍ය රූපවාහිනී නාලිකාව වෙත පැවසුවේ, ඉරානය "න්‍යෂ්ටික ආයුධයක් පසුපස හඹා නොයන බවට ලෝකයට ඒත්තු ගැන්වීමට තමන්" සූදානමින් පසු වූ බව ය.

































