අලි - මිනිස් ගැටුම අවම කරන්න ආණ්ඩුව හඳුන්වා දීමට යන 'උණ බම්බු ජෛව වැට' කුමක් ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 5
දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ අර්බුදයක් ලෙසින් පවතින අලි - මිනිස් ගැටුම නිරාකරණය කිරීම සඳහා සාර්ථක විසඳුමක් ලබා දීමට මෙතෙක් කිසිදු හැකියාවක් ලැබී නැත.
මිනිස් ජීවිත සහ අලි ඇතුන් විශාල සංඛ්‍යාවක් මේ ගැටුමෙන් අකාලයේ මෙරටට අහිමි වූ අතර විවිධ රජයන් යෙදූ පැලැස්තර විසඳුම් කිසිවක් සාර්ථකත්වයට පත්වූ බවක් නොපෙනේ.
පරිසරවේදීන් පෙන්වා දෙන ආකාරයට පසුගිය දශක දෙකක පමණ කාලයක සිට මෙරට අලි - මිනිස් ගැටුම උග්‍ර වෙමින් පවතී.
අලි - මිනිස් ගැටුම හේතුවෙන් වාර්ෂිකව මෙරට මිනිස් ජීවිත 100කට වැඩි සංඛ්‍යාවක් සහ අලි ඇතුන් 300කට වැඩි සංඛ්‍යාවක් මිය යන බව දත්ත වාර්තාවල සඳහන් වේ.
එසේ අලි - මිනිස් ගැටුම පාලනය කිරීම වෙනුවෙන් යෙදූ විසඳුම් අතර විදුලි වැට අද වන විටත් භාවිත වන අතර, ඒවා ද කඩා දමා අලි ගම්වදින අවස්ථා රැසක් වාර්තා වී තිබේ.
පුත්තලම සහ අනුරාධපුරයෙන් ආරම්භ වන උණ බම්බු ජෛව වැට
දිනෙන් දින උග්‍ර වන අලි - මිනිස් ගැටුම අවම කිරීමේ අරමුණ ඇතිව අලින් මිනිස් වාසස්ථානවලට ඇතුළුවීම වැළැක්වීමට උණ බම්බු යොදා ජෛව වැටක් යෙදීම පිළිබඳව වත්මන් රජය සලකා බලමින් සිටියි.
එහි නියමු ව්‍යාපෘතිය නුදුරේදී ම පුත්තලම සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි බීබීසී සිංහල සේවයට පැවසීය.
"පුත්තලමෙයි, අනුරාධපුර දිස්ත්රික්කයෙයි තමයි අපි පයිලට් එකක් විදියට ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ. උණ බම්බු වැටක් හැදුවට ඒක මේන්ටේන් කරන්න ඕන දිගට ම, වර්ධනය වෙනකොට ගස් යම් ප්‍රමාණයක් ඉවත් කරන්න ඕනේ. ඒ ගන්න ගස් ටික කර්මාන්තයක් පැත්තට යොමු කරන වැඩක් එක්ක තමයි ඒක ගැන සාකච්ඡා කරගෙන යන්නේ," ඔහු පැවසුවේ ය.
චීන සහය සහ එක්සත් ජාතීන්ගෙන් ලැබෙන ආධාර
එසේ කර්මාන්තයක් ලෙස උණ බම්බු උපයෝගී කරගෙන මුදල් ඉපැයීමට චීනය තාක්ෂණික හා පර්යේෂණ සහය ලබා දීමට එකඟතාව පළ කර ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ය.
මෙම නියමු ව්‍යාපෘතිය සඳහා එක්සත් ජාතීන්ගේ මුදල් ප්‍රදානයක් ලැබෙන බවත්, ප්‍රජා දායකත්වය ලබා ගනිමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත් ඔහු බීබීසී සිංහල සේවය වෙත පැවසීය.
එමෙන් ම, මෙම ව්‍යාපෘතිය සඳහා පරිසර සංවිධානවල ද දායකත්වය ලැබෙන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.
විදුලි වැටට මෙපිටින් ඉදිකරන මානසික බාධකය
දැනට ඉදිකර ඇති විදුලි වැටට මෙපිටින් උණ බම්බු ජෛව වැට ඉදිකිරීමට සැලසුම් කර ඇති බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි, ඒ ඔස්සේ අලියා තුළ මානසික බාධකයක් ඇති වීමට සැලැස්වීමට උත්සහ කරන බව පැවසීය.
"අලි වැටට මෙහායින් තමයි අපි මේක දාන්නේ. මේක වර්ධනය වෙනකම් තමයි ටිකක් ගැටලුවක් තියෙන්නේ."
"තනි බැරියර් එකක් තිබුණොත් අලියා ඒකට හුරු වෙනවා ඉක්මනට. මෙන්ටල් බැරියර්ස් දෙක තුනක් වගේ තිබුණොත් අලියා කම්ප්ලිකේට් වෙනවා. අලියාගේ හැසිරීම බලපුවා ම මෙන්ටල් බැරියර්ස් ප්‍රමාණය වැඩි කරන එක පරමාර්ථ කරගෙන තමයි මේක කරන්නේ."
පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ, දීර්ඝ කාලයක් තිස්සේ පවතින අලි - මිනිස් ගැටුම අවම කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බලා රජයට වාර්තා කිරීමට විශේෂඥයින්ගෙන් සැදුම්ලත් කමිටුවක්, තාක්ෂණික කමිටුවක් සහ අධීක්ෂණ කමිටුවක් පත් කර ඇති බව ය.
'ජෛව වැටවල් සියල්ල ම අසාර්ථක ව්‍යාපෘති'
කෙසේ වෙතත්, පරිසරවේදී පුබුදු වීරරත්න පවසන්නේ, හණ සහ තල් වැට යොදා අලි - මිනිස් ගැටුම අවම කිරීමට මීට ඉහතදී ගත් ක්‍රියාමාර්ග මෙන් ම උණ බම්බු ජෛව වැට ද අසාර්ථක වනු ඇති බව ය.
"ජෛව වැටවල් ලංකාවේ අවස්ථා කිහිපයකදී අත්හදා බලලා තියෙනවා. එකක් තමයි හණ වැට ඊට පස්සේ තල් වැට ඔය ජෛව වැටවල් සියල්ල ම අසාර්ථක ව්‍යාපෘති," යැයි පරිසරවේදී පුබුදු වීරරත්න බීබීසී සිංහල සේවයට පැවසීය.
වියළි කාලගුණය, සුදුසු පස නොමැති වීම, වතුර නොමැති වීම, සතුන් ආහාරයට ගැනීම, පොහොර නොමැති වීම සහ රෝග වැළදීම වැනි බාධා රැසක් ජෛව වැට කෙරෙහි පවතින බව ද පරිසරවේදියා පෙන්වා දුන්නේ ය.
"අනිත් එක තමයි අලියා කියන්නේ ශාක භක්ෂක සතෙක්, උණ ගස කියන්නේ තෘණ පවුලේ ශාකයක්, අලියෙක්ට උණ ගහක් පෙරළන එක එහෙම නැතිනම් උණ ගස් කිහිපයක් පෙරළන එක මහ ලොකු ප්‍රශ්නයක් නෙමෙයි."
'ලෝකේ කොහේවත් අලි - මිනිස් ගැටුම ජෛව වැටකින් පාලනය කරලා නැහැ'
මේ අතර, ලෝකයේ කිසිදු රටක් ජෛව වැටක් යොදා ගනිමින් සාර්ථක ලෙස අලි - මිනිස් ගැටුම පාලනය කර නොමැති බව ද පරිසරවේදී පුබුදු වීරරත්න බීබීසී සිංහල සේවයට කියා සිටියේ ය.
"මගේ දැනුමට අනුව ලෝකේ කොහේවත් අලි - මිනිස් ගැටුම ජෛව වැටකින් පාලනය කරලා නැහැ, එහෙම පාලනය කරන්න බැහැ. අලියා කියන සතාගේ හැසිරීම් රටාව දන්නවා නම් තේරෙනවා අලියා කියන්නේ ශාක භක්ෂක සතෙක්, ජෛව වැටක් මගින් ආරක්ෂා කරන්න බැහැ. අනිත් කාරණය තමයි අලියෙක් මද කිපෙන කාලයට අලියගේ ටෙස්ටොස්ටෙරෝන් හෝර්මෝනය 60%කින් විතර වැඩි වෙනවා. එතකොට ඒ කාලයට කරන්ට් වැටත් කඩාගෙන, වෙඩි කාගෙන එහෙට මෙහට ගමන් කරන අලියා දෙහි හිටවලා, හණ හිටවලා හරි උණ බම්බු හිටවලා හරි නවත්වන්න පුළුවන් කියලා හිතන්නේ නැහැ," ඔහු පැවසුවේ ය.
කෙසේ වෙතත්, පරිසර අමාත්‍යංශයේ අදහස වී ඇත්තේ, උණ ගස්වලින් ඉදිකෙරෙන ජෛව වැට හරහා මෙම අර්බුදයට යම් විසඳුමක් ළඟා කර ගත හැකි වනු ඇති බව ය.
අලි - මිනිස් ගැටුම පාලනයට කළ යුත්තේ කුමක් ද?
අලි - මිනිස් ගැටුම පාලනය කිරීමට ඇති සාර්ථක ක්‍රමය සහ ප්රමුඛව කළ යුතු කාර්යය වන්නේ ඉඩම් ප්‍රතිපත්තියක් සැකසීම බව පරිසරවේදී පුබුදු වීරරත්න අවධාරණය කළේ ය.
"ඉඩම් පරිහරණය පිළිබඳ ප්‍රතිපත්තියක් හදලා ඊට පස්සේ ලංකාවේ ප්‍රදේශවලට ගැලපෙන බෝග වගාවන් නිර්දේශ කරලා කෘෂිකර්මාන්තය යාවත්කාලීන කර ගන්න ඕනේ. මිනිස්සු බලහත්කාරයෙන් වනාන්තර අල්ලගෙන කරන කාර්යය පාලනය කරන්න ඕනේ."
එමෙන් ම, ස්වාභාවික පරිසරය ආරක්ෂා වන පරිදි ඉඩම් කළමනාකරණය කර ගැනීම වඩා වැදගත් බව පරිසරවේදී පුබුදු වීරරත්න වැඩිදුරටත් කියා සිටියේ ය.
මීට පෙර අත්හදා බැලූ ජෛව වැටවල් මොනවා ද?
අලි - මිනිස් ගැටුම වැළැක්වීම පිණිස තල් ගස් යොදා ගැනීමේ නියමු ව්‍යාපෘති හතරක් ප්‍රැක්ටිකල් ඇක්ෂන් සංවිධානය විසින් 2014 දී ආරම්භ කරනු ලැබී ය.
තල් ගස් පේළි හතරක් 'සිග් සැග්' ක්‍රමයට සිටුවීම මෙම ක්‍රමවේදය ඔස්සේ සිදුකරනු ලබන බව එම සංවිධානය එකල ප්‍රකාශ කර තිබිණි.
මේ අතර, ගොවීන්ගේ වගා සහ වාස භූමි වන අලින්ගෙන් රැක ගැනීමට 'ජීව වැට' ඉදිකිරීමේ නව අත්හදා බැලීමක් 2015 වසරේදී ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් සිදු කරනු ලැබී ය.
විදුලි වැටට සමාන්තරව හණ, දෙහි, බෝගන්විලා වැනි කටු සහිත ශාක වර්ග පේළියට වගා කිරීම මෙම ව්‍යාපෘතියේදී සිදුවිය.
































