හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට ඉරානයෙන් ට්‍රම්ප්ට කොන්දේසි 6ක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
උපායමාර්ගිකව ඉතා වැදගත් වන හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නාවික ගමනාගමනය පාලනය කිරීම සඳහා වන නව එකඟතාවයක් පිළිබඳ සාකච්ඡා සාර්ථක මෙන්ම ඉතා දියුණු මට්ටමක පවතින බව ඉරානය සහ ඕමානය යන රටවල් දෙකම ප්‍රකාශ කර ඇත.
මෙම සාකච්ඡා ප්‍රධාන වශයෙන් මෙම සමුද්‍ර සන්ධිය හරහා යා හැකි නව මුහුදු මාර්ගයක් නිර්මාණය කිරීම කෙරෙහි යොමු වී තිබේ. මෙම නව මාර්ගයේ ආරක්ෂාව සහ පාලනය පිළිබඳ වගකීම ඉරානය සහ ඕමානය විසින් හවුලේ බෙදා ගැනීමට නියමිතය.
නමුත් බලාපොරොත්තු සහගත තත්ත්වය ඉහළ යත්ම, මෙම වැදගත් මුහුදු මාර්ගය නැවත විවෘත කිරීමට පෙර ඇමෙරිකාව ඉටු කළ යුතු කොන්දේසි මාලාවක් ඉරානය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත.
මින් බොහෝමයක්, පසුගිය ජුනි 17 වනදා ඇමෙරිකාව සහ ඉරානය අතර එකඟත්වයට එලැඹි අවබෝධතා ගිවිසුමේ සීමාවන් ඉක්මවා යන ඒවා වන අතර, අනෙක්වා ඔවුන් කලින් කළ ඉල්ලීම් වේ. කෙසේ වෙතත් මෙවර ඒවා සෘජුවම මුහුදු මාර්ගය විවෘත කිරීමේ කොන්දේසි ලෙස ඉදිරිපත් කර ඇත.
ඇත්තට ම මෙම කොන්දේසි මොනවාද? එමෙන්ම ඇමෙරිකාවට ඒවා ඉටු කළ හැකි ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
රාජ්‍ය විකාශන ආයතනයක් වන IRIB මඟින් ප්‍රකාශයට පත් කරන ලද නිවේදනයක, ඉරාන ජාතික ආරක්ෂක මණ්ඩලයේ හිටපු ලේකම් සහ වත්මන් උත්තරීතර නායකයාගේ උපදේශක මොහොමඩ් බගර් සොල්ගාදර් අනතුරු අඟවා ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදය තම හැසිරීම් "නිවැරදි කරගත" යුතු අතර ඔවුන් ඉදිරිපත් කර ඇති කොන්දේසි මාලාව ඉටු කළ යුතු බවයි. එමඟින් 'හැසිරීම් නිවැරදි කර ගැනීම' යන්නෙන් අදහස් කරන්නේ කුමක්දැයි පහත පරිදි දක්වා තිබුණි:
1. කිසිදු අයුරකින් හෝ භාෂාවකින් ඉරානයට තර්ජනය නොකරන්න, එමෙන්ම මෙම ජාතියේ පූජනීය වස්තූන්ට හෝ අභිමානයට අපහාස නොකිරීම
ඇමෙරිකාව තම රටට තර්ජනය කිරීම වහාම නැවැත්විය යුතු අතර, එවැනි තර්ජන නැවත කිසිදිනෙක සිදු නොවන බවට සහතිකයක් ලබා දිය යුතු බව ඉරානය පවසයි. මෙය බොහෝ දුරට දේශපාලනික සහ ආරක්ෂක ඉල්ලීමකි. සටන් විරාමයකදී දෙපාර්ශවයෙන්ම සංයමයක් අපේක්ෂා කරන නමුත්, අනාගත තර්ජනවලට එරෙහිව ප්‍රසිද්ධියේම මෙවැනි සහතික ඉල්ලා සිටීම, මීට පෙර වාර්තා වූ තාවකාලික ගිවිසුමේ කොන්දේසිවලට වඩා බෙහෙවින් පුළුල් වූ, උපායමාර්ගික කොන්දේසියක් ලෙස පෙනී යයි.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
2. ඉරානයට සහ ලෙබනනය, පලස්තීනය, යේමනය මෙන්ම ඉරාකය යන රටවල සිටින ඔවුන්ගේ මිත්‍ර පාර්ශවයන්ට එරෙහිව සිදු කරන යුද්ධ සහ ආක්‍රමණ සදහටම නතර කිරීම
මිලිටරි ප්‍රහාර නැවැත්විය යුත්තේ ඉරානයට එරෙහිව පමණක් නොව, ලෙබනනය, පලස්තීනය, යේමනය සහ ඉරාකය යන රටවල සිටින ඔවුන්ගේ මිත්‍ර රටවල් සහ සන්නද්ධ කණ්ඩායම්වලට එරෙහිවද බව ඉරානය තරයේ කියා සිටියි. පසුගිය ජුනි මාසයේ අවබෝධතා ගිවිසුමේ 'ලෙබනනය ඇතුළු සියලුම සටන් පෙරමුණු' ගැන සඳහන් වූ අතර, මෙමඟින් අනෙකුත් රටවල්ද පැහැදිලිව දක්වමින් සමස්ත කලාපයේම ආරක්ෂාව සඳහා පුළුල් සහතිකයක් ඉරානය බලාපොරොත්තු වේ.
3. නාවික අවහිරතා ඉවත් කර, ඉරානය අවට ස්ථානගත කර ඇති ඇමෙරිකානු (නාවික සහ ගුවන්) සන්නද්ධ බලකායන් වහාම ඉවත් කිරීම.
පසුගිය ජුනි මාසයේ ඇමෙරිකා-ඉරාන අවබෝධතා ගිවිසුම යටතේ, ඇමෙරිකාව දින 30ක් ඇතුළත ඔවුන්ගේ නාවික අවහිරතා අවසන් කිරීමට නියමිතව තිබුණද, එය හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සමඟ සෘජුවම සම්බන්ධ කර තිබුණේ නැත.
4. ආක්‍රමණශීලී යුද්ධ දෙකක් හේතුවෙන් ඉරානයට සිදු වූ සියලුම හානි සඳහා සම්පූර්ණ වන්දි මුදල් ගෙවන්න
මෙයින් අදහස් කරන්නේ 2025 වසරේ පැවති දින 12ක යුද්ධය මෙන්ම වඩාත්ම මෑතකදී සිදු වූ යුද්ධයයි. පසුගිය ජුනි මාසයේ අවබෝධතා ගිවිසුමෙන් පසුව, අවසාන එකඟතාවයක කොටසක් ලෙස මෙම වන්දි ගෙවීමේ ක්‍රමවේදයන් ගැන සාකච්ඡා කිරීමට බලාපොරොත්තු විය. කෙසේ වෙතත්, ඉරානය දැන් එම වන්දි මුදල් ගෙවීම හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමේ කොන්දේසියක් ලෙස ප්‍රසිද්ධියේම ඉදිරිපත් කර ඇත.
5. ඉරාන ජනතාවට එරෙහිව පනවා ඇති 'කුරිරු සහ නීතිවිරෝධී' ආර්ථික සම්බාධක (තහංචි) වහාම ඉවත් කිරීම.
ආර්ථික සම්බාධක ඉවත් කිරීමේ කාලසටහන අවසාන එකඟතාවයක් සඳහා වන සාකච්ඡාවල කොටසක් වනු ඇතැයි කලින්ම බලාපොරොත්තු විය. එබැවින් ඉරානය මෙහිදී සම්පූර්ණයෙන්ම අලුත් මාතෘකාවක් ඉදිරිපත් කර නැත. නමුත් මෙහි ඇති අලුත් කරුණ වන්නේ, සම්බාධක ඉවත් කිරීම හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සමඟ සෘජුවම සම්බන්ධ කළ යුතු බවට ඔවුන් තරයේ කියා සිටීමයි.
6. තහනම් කර ඇති සහ සොරකම් කර ඇති ඉරාන ජනතාවට අයත් සියලුම වත්කම් කොන්දේසි විරහිතව නිදහස් කිරීම
නැවතත් කිවහොත්, මෙම ඉල්ලීම අලුත් එකක් නොවේ. විදේශ රටවල බැංකුවල අවහිර කර හෝ හිරකර ඇති ඉරානය සතු දේපළ සහ මුදල් නිදහස් කිරීම පිළිබඳව මීට පෙර ද සාකච්ඡා කර ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Elke Scholiers/Getty Images
හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමට පෙර ඉටු කළ යුතු බවට ඉරානය දැන් පවසන කොන්දේසි මාලාව, මෙම කරුණු 6 මඟින් තවත් පුළුල් කර ඇත.
බීබීසී මැදපෙරදිග විශ්ලේෂක සෙබස්තියන් උෂර් පවසන්නේ, මෙමඟින් ඉරානයේ ස්ථාවරය තවත් දැඩි වී ඇති බවයි: "මෙම කොන්දේසි මීට පෙර අවබෝධතා ගිවිසුමේ රාමුව තුළද තිබූ ඒවායි... නමුත් ඒවා ඉදිරිපත් කරන කාලය සහ ක්‍රමවේදය දැන් බෙහෙවින් වෙනස් වී තිබෙනවා." හෝමූස් සමුද්‍ර සන්ධිය තවමත් සම්පූර්ණයෙන්ම පාහේ වසා දමා තිබීම" හේතුවෙන්, තමන්ට දැන් සාකච්ඡාවලදී වැඩි වාසියක් ඇතැයි ඉරානය සිතනවා විය හැකි බවද ඔහු පවසයි.
කෙසේ වෙතත්, ඇමෙරිකානු විදේශ ප්‍රතිපත්ති පර්යේෂණ ආයතනයක් වන ක්වින්සි ආයතනයේ විධායක උප සභාපති ට්රිටා පාර්සි, බීබීසී ලෝක සේවයේ සතිඅන්ත වැඩසටහනකට අදහස් දක්වමින් පවසා සිටින්නේ මෙම කොන්දේසි අතිශයෝක්තියෙන් යුත් ඒවා බව ඉරාන වැසියන්ම දන්නා බවත්, ඔවුන් බොහෝ දුරට මින් පසුබසිනු ඇති බව තමන් විශ්වාස කරන බවයි.
ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන දේවල්, සාකච්ඡා මේසය තුළ සිදුවන සැබෑ තත්ත්වයට වඩා වෙනස් විය හැකියි," යනුවෙන් ඔහු පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, US Central Command / X
ට්රිටා පාර්සි තවදුරටත් පෙන්වා දෙන්නේ මෙය ඔවුන්ගේ සාකච්ඡා උපක්‍රමයක් විය හැකි බවයි.
"ඔවුන් උත්සාහ කරන්නේ මෙම ක්‍රියාවලිය තවදුරටත් ඇදගෙන යාමට (කල් දැමීමට) වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා." පසුගිය ජුනි මාසයේදී ඉරානය එම අවබෝධතා ගිවිසුමට ඉතා ඉක්මනින් එකඟ වූ බවට ඉරාන රජයේ සිටින දැඩි මතධාරීන් අතර මතයක් පවතින බවද ඔහු පවසයි.
ඉන්පසුව, එම ගිවිසුම අත්සන් කර දින කිහිපයකට පසුව දෙපාර්ශවයම එකිනෙකාට එරෙහිව නැවත ප්‍රහාර ආරම්භ කිරීම නිසා, එය පැවතියේ දින කිහිපයක් පමණි.
ට්රිටා පාර්සි පවසන්නේ ඉරානය එම සාකච්ඡා තවදුරටත් කල් ඇද දැමුවේ නම්; එමඟින් ලෝක තෙල් මිල තවදුරටත් ඉහළ ගොස් ගෝලීය ආර්ථිකයට වැඩි බලපෑමක් එල්ල වීමට ඉඩ තිබූ බවත්, එවැනි තත්ත්වයක් තුළ ජනාධිපති ට්‍රම්ප් ඉරාන ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමට එතරම් ඉක්මන් නොවනු ඇති බවත් ඉරානයේ ඇතැම් පිරිස් තර්ක කරන බවයි. ඉරානය එම 'වැරැද්ද' නැවත කිරීමට සූදානම් නොමැති බව පෙනී යයි.
එසේ වුවත්, හෝමූස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් වන එකඟතාවයකට පැමිණීමට තව ඇත්තේ දින කිහිපයක් පමණක් විය හැකි බව ඔහු තවමත් අනාවැකි පළ කරයි.
නෞකා යාත්‍රා කරන තුරු බලා සිටින පිරිස් සහ ලෝක තෙල් මිල දෙස අවධානයෙන් සිටින අය, ඔහුගේ මෙම අනාවැකිය නිවැරදි වනු ඇතැයි බලාපොරොත්තු වනු ඇත.

































