මීගමුව බන්ධනාගාර ගැටුම: ප්‍රධාන ජේලර්ගේ 'අතිශය සංවේදී තොරතුරු ඇතුළත් සාක්ෂිය' ගැන මහේස්ත්‍රාත් දුන් නියෝගය

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 3

මීගමුව බන්ධනාගාරය තුළ බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් අතර ගැටුම සිදුවන අවස්ථාවේ එහි ප්‍රධාන ජේලර්වරයා ලෙස කටයුතු කළ නිලධාරියා පැය 2ක පමණ කාලයක් අධිකරණය හමුවේ ලබා දුන් සාක්ෂියේ ජාතික ආරක්ෂාවට දැඩි සංවේදීතාවක් ඇති තොරතුරු ඇතුළත් වන බව මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් සීලනී පෙරේරා ප්‍රකාශ කළා ය.

ඒ අනුව ඇය නියෝග කළේ, එම සංවේදී සියලු තොරතුරු මාධ්‍ය මගින් හෙළිදරව් කළහොත් රටේ ජාතික ආරක්ෂාව බරපතළ අවදානමකට ලක්විය හැකි බව ය.

එහෙයින්, ප්‍රධාන ජේලර්වරයා ලබා දුන් සාක්ෂියේ අන්තර්ගත කිසිදු තොරතුරක් මාධ්‍ය ඔස්සේ පළ නොකරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළා ය.

පැය දෙකක කාලයක් සාක්ෂි දෙයි

ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මෙසේ නියෝග කළේ, මීගමුව බන්ධනාගාරයේ ගැටුමට අදාළ නඩුකරය (ජූලි 30) මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේ මීගමුව බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර් වික්‍රම ජයන්ත කුමාර පැය 2ක කාලයක් සාක්ෂි ලබා දීමෙන් අනතුරුව ය.

මීගමුව බන්ධනාගාරය තුළදී බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් අතර ගැටුම සිදුවන අවස්ථාවේ එම බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා ලෙස නිල රාජකාරි කළ වික්‍රම ජයන්ත කුමාර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සාක්ෂි මෙහෙයවීම මත සාක්ෂි ලබා දීම ආරම්භ කළේ, පස්වරු 1.00ට පමණ ය.

ඔහු පස්වරු 3.00 දක්වා පැය දෙකක කාලයක් සාක්ෂි ලබා දුන්නේ ය. ප්‍රධාන ජේලර්වරයා ලබා දුන් අතිශය සංවේදී සහ ජාතික ආරක්ෂාවට සංවේදී තොරතුරු ඇතුළත් සාක්ෂි සම්පිණ්ඩනය සුරක්ෂිතව අධිකරණය භාරයේ තබන ලෙසට ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මෙහිදී අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළා ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවල ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා ය.

මීගමුව බන්ධනාගාර ගැටුම ඇති වූ අවස්ථාවේදී එය පාලනය කිරීමට වැලිකඩ බන්ධනාගාරයේ සිට විශේෂ රාජකාරි සදහා මීගමුව බන්ධනාගාර පරිශ්‍රයට කැඳවනු ලැබූ උපක්‍රමික බන්ධනාගාර පොලිස් නිලධාරීන් 80 දෙනා සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළේ ය.

'රස පරීක්ෂණ වාර්තා තව ම නැහැ'

මීගමුව බන්ධනාගාරයේ ගැටුම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන පිළිබඳව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරීවරුන් සිව් දෙනෙකු යටතේ අංශ කිහිපයක් ඔස්සේ පුළුල් විමර්ශන තවදුරටත් සිදු කෙරෙමින් පවතින බව ය.

එකී විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව වරින් වර අධිකරණය දැනුවත් කිරීමට පියවර ගන්නා බව ද අධිකරණයට දැනුම් දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මීගමුව බන්ධනාගාර ගැටුමට අදාළව නඩු භාණ්ඩ ලෙස නම් කළ ගිනි අවි සහ තියුණු ආයුධ ඇතුළු මෙවලම් සම්බන්ධයෙන් මෙතෙක් රස පරීක්ෂක වාර්තා ලැබී නොමැති බව ද දැනුම් දුන්නේ ය.

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් වූ මූලික විමර්ශන මීගමුව මූලස්ථාන පොලිසිය මගින් සිදු කෙරුණු අතර, පසුව එම සියලු විමර්ශන මීගමුව මූලස්ථාන පොලිසියෙන් ඉවත් කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පැවරීමට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අවසර දුන්නාය.

ඒ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 125 වන වගන්තිය ප්‍රකාරව තමාට ලැබී ඇති බලතල ප්‍රකාරව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරියගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව ය.