ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මීගමුව බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් නියෝගය
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 3
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් 28 දෙනෙකු මිය යාම සහ බන්ධනාගාර දේපළවලට රුපියල් කෝටි 12කට අධික අනර්ථයක් සිදුවීම සම්බන්ධයෙන් දැනට මීගමුව මූලස්ථාන පොලිසිය මගින් සිදු කරන සියලු විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මීගමුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට අද (ජූලි 09) නියෝග කළා ය.
ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මෙසේ නියෝග කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකරගේ උපදෙස් මත වැඩිදුර වාර්තාවක් මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමිනි.
ඒ අනුව, අදාළ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, මීගමුව බන්ධනාගාරයේ ගැටුම සම්බන්ධයෙන් මීගමුව මූලස්ථාන පොලිසිය විසින් සිදු කරනු ලබන සියලු විමර්ශන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මින් ඉදිරියට සිදු කරන ලෙසටත්, එකී විමර්ශන අපරාධ නඩු විධාන සංග්‍රහයේ 125 වගන්තිය ප්‍රකාරව අධිකරණ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරා ගන්නා ලෙසටත්, පොලිස්පති නිතීඥ ප්‍රියන්ත වීරසූරිය නියෝග ලබා දී ඇති බව ය.
ඒ අනුව, මෙම සිද්ධියට අදාළ සියලු විමර්ශන මීගමුව මූලස්ථාන පොලිසියෙන් ඉවත් කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පත් කරන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ඒ සදහා අධිකරණයේ අවසරය දෙන ලෙසට ද ඉල්ලා සිටියේ ය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කරුණු දැක්වීම සැලකිල්ලට ගත් මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය, මීගමුව බන්ධනාගාර ගැටුමට අදාළ සියලු විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරන ලෙසට නියෝග කළා ය.
මීගමුව මහ රෝහලේ පංච පුද්ගල අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් මගින් සිදු කෙරුණු මියගිය බන්ධනාගාර නිලධාරීන් සහ සිරකරුවන් 24 දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා 24ක් පමණක් මුද්‍රා තබා මෙදින මීගමුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලිණ දම්සිත් හෙට්ටිආරච්චිගේ උපදෙස් මත සැරයන්වරයෙක් අධිකරණයට ඉදිරිපත් කළේ ය.
මුද්‍රා තබා අධිකරණයට භාර දුන් එම පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා මරණකරුවන්ගේ ඥාතීන්ට භාර දෙන ලෙසට ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මීගමුව මූලස්ථාන පොලිසියට තවදුරටත් නියෝග කළා ය.
ඒ අනුව, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරියගේ ඍජු නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකරගේ ඍජු අධීක්ෂණය යටතේ මීගමුව බන්ධනාගාරය සම්බන්ධයෙන් වන සියලු විමර්ශන මින් ඉදිරියට සිදු කරනු ඇත.