ගෝල්ඩන් ස්පයික් පිටියේ සුපිරි ජයග්‍රහණය සමග රුමේෂ් ලෝකයෙන් ම 2 වැනි තැනට

ඡායාරූප මූලාශ්‍රය, Michal Cizek / AFP via Getty Images
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 3
ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග, චෙක් ජන රජයේදී පැවති 65 වන ඔස්ට්‍රාවා ගෝල්ඩන් ස්පයික් (Ostrava Golden Spike) මලල ක්‍රීඩා තරගාවලියේ හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්ව ජය ගැනීමත් සමග ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අනුව ඔහු දෙවැනි ස්ථානයට පත්ව සිටියි.
මෙම තරගයේදී ඔහු තමන්ට හිමිවූ පළමු අවස්ථාවේදී මීටර් 85.87ක දක්ෂතාවක් දැක්වීය.
රුමේෂ් තමන්ට හිමිවූ දෙවන අවස්ථාවේදී මීටර 86.30ක් දක්වා ඉදිරියට යාමට සමත් විය.
මෙම තරගයේ ඔහු ඉහළ ම දක්ෂතාව ප්‍රදර්ශනය කළේ තුන්වන අවස්ථාවේදී වන අතර රුමේෂ් එහිදී මීටර් 86.57ක දක්ෂතාවක් දැක්වීය.
ඉන් අනතුරුව ඔහුට හිමි වූ අවස්ථා තුනේදී ම සාර්ථක වීමට නොහැකි වුව ද තුන්වෙනි අවස්ථාවේදී ප්‍රදර්ශනය කළ දක්ෂතාව හේතුවෙන් තරගය ජය ගැනීමට රුමේෂ්ට හැකි විය.
ගෝල්ඩන් ස්පයික් මලල ක්‍රීඩා තරගාවලිය
1961 වසරේදී ආරම්භ වූ මෙම ගෝල්ඩන් ස්පයික් මලල ක්‍රීඩා තරගාවලිය යුරෝපයේ පැවැත්වෙන ප්‍රධානතම මලල ක්‍රීඩා තරගාවලියකි.
එය ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනයේ (World Athletic) රන් කාණ්ඩයේ තරගාවලියක් ද වේ.
එම තරගාවලි ඉතිහාසයේ තරගයක් ජයගත් පළමු ශ්‍රී ලාංකිකයා ලෙස ද රුමේෂ් තරංග වාර්තා අතරට එක්විය.
මෙම තරගයේ දෙවන ස්ථානය හිමිවූයේ ග්‍රැනඩාහි ඇන්ඩර්සන් පීටර්ස්ට ය. ඔහු ලෝක ශ්‍රේණිගත කිරීම අනුව දෙවන ස්ථානයේ පසු විය.
පසුගිය 9 වන දා නිකුත් කළ හෙල්ල විසි කිරීම ක්‍රීඩක ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම අනුව ඒවන විට රුමේෂ් තරංග සිටියේ තුන්වන ස්ථානයේ ය.
මෙම ජයග්‍රණය සමග රූමේෂ් දෙවැනි ස්ථානයට පත්වූ අතර පළමු ස්ථානයේ සිටින්නේ, ජර්මනියේ ජූලියන් වෙබර් ය.
නවතම ශ්‍රේණිගත කිරීම අනුව ඇන්ඩර්සන් පීටර්ස්ට තුන්වැනි ස්ථානයට පත්ව සිටියි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මෙම වසරේදී හෙල්ල විසිකිරීමේ පිරිමි ඉසව්වට ඉහළම දක්ෂතාව ප්‍රදර්ශනය කළ ක්‍රීඩකයා ලෙස තවදුරටත් ඉදිරියෙන් ම සිටින්නේ රුමේෂ් තරංග ය.
පසුගිය දා රෝමයේ පැවති ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 92.62ක දක්ෂතාවක් දැක්වීමට ඔහුට හැකි විය.
ලබන 19 වන දා කටාර්හි දෝහා නුවර පැවැත්වෙන ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා අදියර සඳහා ද රුමේෂ් සහභාගි වීමට නියමිතය.
එම තරගය සඳහා සුපිරි ඉන්දීය ක්‍රීඩක නීරාජ් චොප්රා ද සහභාගි වීමට නියමිත බැවින් හොඳ තරගයක් දැක ගැනීමට අවස්ථාව උදාවනු ඇත.
රුමේෂ් තරංග යනු කවුද?
2003 වසරේ මාර්තු 21 වන දා කළුතරදී උපත ලද රුමේෂ් තරංග පතිරගේ මූලික අධ්‍යාපනය ලැබුවේ හොරණ ශ්‍රීපාලි විද්‍යාලයෙනි.
පසුව ඔහු බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයට ඇතුළු විය.
ඔහුගේ පියා හිටපු යගුලිය විසිකිරීම සහ කවපෙත්ත විසි කිරීමේ තරග ඉස්ව්වල ශූරයෙකි.
ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂයෙක් වූ රුමේෂ් 2019 වසරේ පැවති යොවුන් වේග පන්දු යවන්නන් තේරීමේ තරගාවලියකදී පැයට කි.මි 134ක දක්ෂතාවක් දැක්වීය.
හෙල්ල විසිකිරීම පුහුණුකරුවෙකු වන ටෝනි ප්‍රසන්න ඔහුව හෙල්ල විසිකිරීමේ ඉසව්වට කැඳවා ගත්තේ ඉන් අනතුරුව ය.
ඔහු මේ වන විට ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරයි.
රුමේෂ්, 2024, 2025 ආසියානු හෙල්ල විසිකිරීමේ ශූරතාවලියේදී රන් පදක්කම දිනූ අතර පසුගිය වසරේ ජපානයේ පැවති මලල ක්‍රීඩා ලෝක ශූරතාවලියේදී 7 වන ස්ථානයට පත් විය.

































