'හොඳ පපුවා'ගේ සිට අද දක්වා: මරණ දඬුවම ගැන ශ්‍රී ලංකාව තැබූ දීර්ඝ විරාමය අවසන් වෙයි ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සඳහා මරණ දඬුවම ලබා දීම සම්බන්ධයෙන් "රට ම එකට" ජාතික මෙහෙයුම් සභාවේදී අවධානය යොමු වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය අගෝස්තු 10 නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.
ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් "රට ම එකට" ජාතික මෙහෙයුම් සභාව රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡාවට ලක්ව තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා අසීමිත ධනය ආශ්‍රිතව ගොඩනැගී ඇති අපරාධමය පරිසරය මේ වන විට ජාතික ආර්ථිකයට, සංචාරක කර්මාන්තයට සහ සමාජ ආචාර ධර්ම පද්ධතියට විශාල තර්ජනයක් වී තිබීමත්, මත්ද්‍රව්‍ය ජාවාරම සහ අපරාධ පිළිබඳව බිය වන සමාජයක් ගොඩනැගීම වෙනුවෙන් දැඩි නීතිරීති ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවත් "රට ම එකට" ජාතික මෙහෙයුම් සභාවේ සාකච්ඡාවට ලක්ව ඇත.
මරණ දඬුවම ගැන අතීතයේ ඇති වූ 'කතාබහ'
මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු බවට මෙරට දේශපාලන වේදිකාවේ කතාබහක් ඇති වූයේ, ඉතිහාසයේ පළමු වරට නොවේ.
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙන් ම රට තුළ බිහිසුණු හා සංවිධානාත්මක අපරාධ පිළිබඳ අවධානය ඉහළ යද්දී මරණ දඬුවම යළි බලපැවැත්විය යුතු ද? යන කරුණ කලක සිට විවාදයක විවෘතව තිබිණි.
එමෙන් ම හෝකන්දර සමූල ඝාතනය, මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය ඝාතනය මෙන් ම සේයා සදෙව්මි හා ශිවලෝගනාදන් විද්‍යා වැනි බාල වයස්කාර දැරියන් දූෂණය හා ඝාතනය ඇතුළු ආන්දෝලනාත්මක අපරාධ පිළිබඳ අවධානය යොමු කළ ඇතැම් පිරිස් ශ්‍රී ලංකාව තුළ නැවත මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතු බවට අදහස් පළ කළහ.
ශ්‍රී ලංකාව තුළ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වසර ගණනාවක් පුරා පැවති විවාදය අවසානයකට ගෙන ඒමේ ලකුණු පහළ වූයේ, මරණීය දණ්ඩනය යළි ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් මණ්ඩලය 2018 වසරේදී එකඟතාවකට පැමිණීමත් සමග ය.
මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු බවට ජනතාව අතරින් නැගුණු ඉල්ලීමට එවකට බලයේ සිටි යහපාලන ආණ්ඩුවේ පළමු නිල ප්‍රතිචාරය ලෙස, පාර්ලිමේන්තුවේ අනුමැතිය ලදහොත් ශ්‍රී ලංකාව තුළ මරණ දඬුවම යළි ක්‍රියාත්මක කරන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, 2015 සැප්තැම්බර් මස ගාලු නගර ශාලාවේදී පැවති වැඩසටහනකට එක්වෙමින් පැවසුවේ ය.
මත්ද්‍රව්‍ය හේතුවෙන් මරණ දඬුවමට ලක්ව සිටින ජාවාරම්කරුවන් "හිරගෙදර ඉඳලා මත්ද්‍රව්‍ය ජාවාරම් කරනවා, රටේ මත්ද්‍රව්‍ය බෙදනවා," 2018 වසරේ ජූලි 11 වන දා මහනුවර පැවති උත්සවයකදී පෙන්වා දුන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, "මරණීය දණ්ඩනයට නියම වීමෙන් පසුවත් පුළුල් ලෙස මහා මත්ද්‍රව්‍ය ජාවාරම් කරන මරණීය දණ්ඩනය නියමවූවන්ට එම දඬුවම දීමට මම මගේ අත්සන යොදනවා," යැයි අධිකරණ අමාත්‍යංශයට තමන් දැනුම් දුන් බව කියා සිටියේ ය.
ඉන් අනතුරුව 2018 ජූලි මස 12 වන දා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වැරදිකරුවන් වී මරණීය දණ්ඩනය පැනවුණු පුද්ගලයින් සඳහා එම මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලයේ එකඟතාව පළවූයේ, ඒ සඳහා එවකට ජනාධිපති ධූරය දැරූ මෛත්‍රීපාල සිරිසේන ගෙන ආ යෝජනාවකට අවධානය යොමු කිරීමෙන් අනතුරුව ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ තීරණය
ශ්‍රී ලංකාවේ කුමන හෝ අධිකරණයකින් විත්තිකරුවන්ට නියම කරනු ලබන මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා අත්සන් නොතැබීමට එවකට ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇතැයි නීතිපතිවරයා 2023 වසරේ පෙබරවාරි 23 වන දා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය.
ඒ, මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින විත්තිකරුවන් හතර දෙනෙකුට පණවා තිබෙන මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා අත්සන් කිරීමට 2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී ය.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරල් නෙරින් පුල්ලේ ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම දැනුම්දීම කළේ ය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ අදාළ ක්‍රියාව අභියෝගයට ලක්කරමින් මරණීය දණ්ඩනය නියම වී සිටින සිරකරුවන් සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුළු සමාජ ක්‍රියාකාරිකයින් පිරිසක් මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබිණි.
මෙරට අවසන් වරට මරණ දඬුවම ක්‍රියාත්මක කළේ කවදා ද?
ශ්‍රී ලංකාවේ එල්ලුම් ගස අවසන් වරට ක්‍රියාත්මක වූයේ, මීට වසර 50කට පෙර එනම් 1976 වර්ෂයේ වැලිකඩ බන්ධනාගාරයේදී ය. එලෙස මරණ දඬුවම ක්‍රියාත්මක කරනු ලැබුවේ තිස්සමහාරාම, උඩුවිල, බොකුටුලන්ද ගමෙහි වාසය කළ ඒ.ජේ.එම්. චන්ද්‍රදාස නමැත්තෙකුට ය.
ඔහු වඩාත් ප්‍රකට වී සිටියේ, 'හොඳ පපුවා' යන අන්වර්ථ නාමයෙනි. 'හොඳ පපුවා' ඉතිහාසගත වී ඇත්තේ ශ්‍රී ලංකාවේදී අවසන් වරට මරණ දඬුවමට ලක්වූ වරදකරු ලෙස ය.
පුද්ගල ඝාතන සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබිණි.
2025 අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ප්‍රගති වාර්තාවට අනුව 2025 සැප්තැම්බර් 30 වන විට මරණ දඬුවම නියම වී සිටි දේශීය සිරකරුවන් සංඛ්‍යාව 811ක් වූ අතර, ඊට පිරිමින් 792 දෙනෙකු සහ කාන්තාවන් 19 දෙනෙකු ඇතුළත් විය.
මරණ දඬුවම නැවත ක්‍රියාත්මක කරනවා ද?
මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පාර්ශවයන්ට මරණ දඬුවම ලබා දීම සඳහා "රට ම එකට" ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ අවධානය යොමු වීම පිළිබඳව අද (අගෝස්තු 11) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අවධානය යොමුවිය.
එහිදී, මේ සම්බන්ධව අදහස් දක්වමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ, මරණ දඬුවම සම්බන්ධ මෙම යෝජනාව පිළිබඳව තව ම අවසන් නිගමනයට එළඹ නොමැති බව ය.
රට ම එකට ජාතික මෙහෙයුම් සභාවේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ලබා දිය යුතු බවට ඇතැම් පාර්ශවවලින් යෝජනා ඉදිරිපත් වූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ සම්බන්ධව ඉදිරියේදී තීරණය කරන බව ද සඳහන් කළේ ය.
"මේ ප්රශ්නය ගැන බරපතළකම ගැන සාකච්ඡා කිරීමේදී සමහර පාර්ශ්වයන්ගෙන් ආපු යෝජනාවක්, අදහසක්. ඒක කෙසේ ද කරන්නේ කොහොම ද කරන්නේ කියන එක ගැන අවසාන නිගමනයක් හෝ එකඟතාවක් තව ම නෑ. පාතාලය, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු මේවාත් එක්ක සිදුවන ක්‍රියාවලිය පිළිබඳව කතාබහ කිරීමේදී එක එක පාර්ශවයන් කරන යෝජනාවක් පමණ යි," අමාත්‍යවරයා පැවසුවේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Department of Government Information
බන්ධනාගාරයේ සූදානම කෙසේ ද?
මරණ දඬුවම යළි ක්‍රියාත්මක කළහොත් ඊට සූදානම් වීමේ පියවරක් ලෙස, පෝරකය සඳහා විශේෂයෙන් සකසන ලද කඹයක් ආනයනය කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව 2013 වසරේදී පියවර ගත්තේ ය. එමෙන් ම, දැනට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතින්නේ වැලිකඩ බන්ධනාගාරයේදී පමණි.
බීබීසී සිංහල කළ විමසීමකට පිළිතුරු දෙමින් බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලේතැන්න කියා සිටියේ, මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා වන 'අළුගෝසු' හෙවත් 'වධක' තනතුර සඳහා නිලධාරීන් දෙදෙනෙකු මේ වන විට බඳවා ගෙන ඇති බව ය.


































