මත්කුඩු රජදහනක් වූ ඉක්වදෝරය: පොලිස් වැටලීම් මැදින් කළ බීබීසී විශේෂ සංචාරය

Two Ecuadoran police officers in dark sunglasses, helmets and balaclavas - which entirely obscure their faces - sit in a car in front of the BBC's Orla Guerin, wearing a flak jacket with the word "PRESS" on it.

ඡායාරූප මූලාශ්‍රය, Lee Durant/BBC

මත්ද්‍රව්‍ය, මැර කල්ලි, ඝාතන සහ පොලිස් මෙහෙයුම් මැද බීබීසී කැමරාවට හසුවූ ඉක්වදෝරයේ භීෂණය
    • Author, ඕලා ගෙරන්
    • Role, ඉක්වදෝරයේ ජ්‍යෙෂ්ඨ ජාත්‍යන්තර වාර්තාකරු
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 11

මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අපරාධ කල්ලි අතර සිදුවන ගැටුම්වලින් පීඩිත ඉක්වදෝරයේ ඩුරාන් නගරයේ පොලිස් කපිතාන් ජීන් කාර්ලෝස් බුස්ටමන්තේ, තමන්ට මුහුණ දීමට සිදුව ඇත්තේ කුමන ආකාරයේ තත්ත්වයකට දැයි නිවැරදිව ම හඳුනාගෙන සිටියි. ඔහුට සටන් කිරීමට සිදුව ඇත්තේ ප්‍රතිවාදීන් ඝාතනය කර ඇතැම් විට ඔවුන්ගේ සිරුරු පවා කොටස් කරන අපරාධ කල්ලිවලට එරෙහිව පමණක් නොව, තම පාර්ශවය තුළ ම සිටින සතුරන්ට ද එරෙහිව ය.

"අපේ යුනිට් එක ඇතුළෙත්, රාජ්‍ය ඇතුළෙත්, දේශපාලනය ඇතුළෙත් ගොඩක් නරක මිනිස්සු ඉන්නවා," ඔහු පවසයි. "දූෂිත අය විශාල පිරිසක් අපි අතර ඉන්නවා. ඔවුන්ට මැර කල්ලිවලින් සල්ලි ගෙවනවා."

ඔහුට විශ්වාස කළ හැකි එක ම පොලිස් නිලධාරීන් වන්නේ, තමන් විසින් ම තෝරා ගන්නා ලද, තමන් ළඟින් ම සිටින කණ්ඩායමේ සාමාජිකයින් පමණක් බව ඔහු පවසයි. 34 වන වියේ පසුවන කපිතාන් බුස්ටමන්තේ ඔවුන් අතර සිටින වයසින් වැඩි ම තැනැත්තා වන අතර, තවමත් ක්‍රියාකරන්නේ මීට පෙර ඔහු විශේෂ බළකා නිලධාරියෙකු ලෙස කටයුතු කළ ආකාරයට ම ය.

හිරු බැස යන මොහොතේ, ජනේල පවා ලෝහ දැල්වලින් ආවරණය කර ඇති, බිය නිසා ම ජනතාවගේ මුව ගොළු වී ඇති අඳුරු ප්‍රදේශයක ඔහු සිය කණ්ඩායම මෙහෙයවමින් සිටියි. මෙය පාතාල කල්ලි ක්‍රියාකාරකම්වල කේන්ද්‍රස්ථානය වන අතර එය "ලොස් අගිලස්" (ස්පාඤ්ඤ භාෂාවෙන් "රාජාලියන්") නමැති කල්ලියක පාලනය යටතේ පවතී.

ප්‍රදේශවාසීන් මැර කල්ලිවලට එරෙහිව හඬ නැගීමක් සිදු කළහොත් කුමක් සිදුවේදැයි මම ඇසුවෙමි. "උන් එයාලව මරලා දානවා," කපිතාන් පිළිතුරු දෙයි. "අන්න ඒ නිසයි එයාලා කවදාවත් කට හොල්ලන්නෙ නැත්තේ."

A police officer in a balaclava and body armour holds up a plastic bag filled with white powder.

ඡායාරූප මූලාශ්‍රය, Lee Durant/BBC

ඡායාරූප ශීර්ෂ වැකිය, පොලිසිය අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන මත්ද්‍රව්‍ය භාරයට ගත්ත ද, බොහෝ දෙනා විශ්වාස කරන්නේ දූෂිත අධිකරණ පද්ධතිය සැබෑ ප්‍රගතිය වළක්වන බවයි

ඔහු ගිනිඅවි සඟවා ඇති බවට විශ්වාස කරන අතහැර දමන ලද නිවසක් දෙසට ගමන් කරයි (තුවක්කුකරුවන් ඔවුන්ගේ ගිනිඅවි නිවසේ තබා නොගනී). ඔහු සහ ඔහුගේ කණ්ඩායම බර අවිවලින් සන්නද්ධව, එක පෙළට, තාප්පයට සමීපව, ඉතා කිට්ටුවෙන් ගමන් කරති. ඉන්පසුව ඔවුහු දොරවල් බිඳ දැමීමේ මෙවලමක් ආධාරයෙන් දොර කඩා ඒ තුළට ඇතුළු වෙති.

ඔවුන්ට පිස්තෝල දෙකක් හමුවන අතර, එකක මල බැඳී ඇති නමුත් අනෙක වෙඩි තැබීම සඳහා සූදානම් කර තිබිණි. ප්‍රහාරක රයිෆලයක පතොරම් ද එහි තිබී හමුවිය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

කපිතාන් පවසන්නේ මෙම ප්‍රතිඵලය ගැන ඔහු සතුටු වන බව යි. "පළමු හේතුව අපි ආරක්ෂිතව සිටීම," ඔහු පවසයි. "දෙවැන්න තමයි මැර කල්ලියට ගිනිඅවි දෙකක් නැති වීම."

නමුත් මෙය, දිගු වෙහෙසකර යුද්ධයක කුඩා ජයග්‍රහණයක් පමණි. මැර කල්ලි සතුව "‍රජයට සාපේක්ෂව බොහෝ ආයුධ සහ මුදල්" ඇති බව ඔහු පිළිගනියි.

මැර කල්ලි සමග සටන් අතරතුර තම සමීප මිතුරන් තිදෙනෙකු අහිමි වී ඇති බැවින් ඔහු මෙහි ඇති අවදානම හොඳින් ම දනියි. "වසර ගණනාවකට පෙර" ඔහු පවසන පරිදි බිය ඔහුගෙන් ඈත් වී ඇති නමුත් ඔහුගේ දෙමාපියන් තුළින් තවමත් එම බිය පහව ගොස් නැත.

"මගේ අම්මා කියනවා 'පරිස්සම් වෙන්න, සමහර විට ඔයා එහෙදි මැරෙන්න පුළුවන්' කියලා," ඔහු මා හා පවසයි. "මගේ තාත්තා නිතර ම කෝල් කරලා අහනවා 'මගේ පුතේ, ඔයා හොඳින් නේ ද? ඔයා හොඳින් ඉන්නවා කියලා මට කියන්න' කියලා."

ඩුරාන්හි පටු වීදිවල සිට ලන්ඩනය සහ අනෙකුත් ප්‍රධාන නගරවල කේන්ද්‍රස්ථාන අතර පැහැදිලි සම්බන්ධතාවක් දැකිය හැක. එම සම්බන්ධතාව මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයන ඩොලර් මිලියන ගණන් මුදල්වලින් මෙන් ම, ඒ නිසා විනාශ වන ජීවිතවලින් ද දැකගත හැකිය. ඉක්වදෝරයේ ජනාධිපති ඩැනියෙල් නොබෝවා පවසන පරිදි, යුරෝපයට සහ එක්සත් ජනපදයට වෙත ළඟා වන කොකේන්වලින් 70%ක් පමණ ජාවාරම් කෙරෙන්නේ ඉක්වදෝරය හරහා ය.

නමුත් එය මේ තත්ත්වයට පත් වූයේ කෙසේ ද?

මේවා ලොව විශාලතම මත්ද්‍රව්‍ය නිෂ්පාදකයන් වන අසල්වැසි කොලොම්බියාවෙන් සහ පේරු රාජ්‍යයෙන් ගලා එයි.

මෙලෙස ගලා එන කොකේන්, ජාවාරම් කිරීම සඳහා මෙක්සිකානු කාටල සහ ඇල්බේනියානු මාෆියා කණ්ඩායම් සමග සබඳතා පවත්වන බලවත් දේශීය කල්ලි සහය වෙති. ඉක්වදෝරයේ පවතින දුර්වල දේශසීමා පාලනය, ප්‍රමාණවත් තරම් ප්‍රතිපාදන නොලබන ආරක්ෂක බළකායන් සහ දිගු පැසිෆික් වෙරළ තීරයේ වාසිය ඔවුහු උපරිමයෙන් භුක්ති විඳිති.

මෙම ක්‍රියාවලිය ඔස්සේ වසර දහයකටත් අඩු කාලයක් තුළ, දකුණු ඇමෙරිකාවේ පැවති සාමකාමී සංචාරක පාරාදීසයක් ඝාතනවලින් පිරි භූමියක් බවට පත්ව ඇත.

Bar chart titled “Violent deaths spiked in recent years” showing the total number of violent deaths in Ecuador by year from 2015 to 2025. Deaths remain around 900–1,200 annually from 2015 to 2020, then rise sharply: about 2,500 in 2021, 4,800 in 2022, and over 8,000 in 2023. Deaths fall slightly to roughly 6,800 in 2024, then increase again to around 9,000 in 2025, the highest level shown. An annotation notes a state of armed internal conflict was declared in the country in January 2024.

ඉක්වදෝරයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයට අනුව, පසුගිය වසරේ එරට මිනීමැරුම් අනුපාතය ලොව ඉහළ ම අගයන් අතරින් එකක් වූ අතර, පුද්ගලයන් 9,200කට වැඩි පිරිසක් ඝාතනය වී තිබිණි. ඒ, පසුගිය වසර දෙක පුරා ජනාධිපති නොබෝවා විසින් එය මැඩ පැවැත්වීම සඳහා දැඩි පියවර ගෙන තිබුණු පසුබිමක ය. ප්‍රධාන පෙළේ අපරාධ කල්ලිවල නායකයන් අත්අඩංගුවට ගැනීම නිසා එම කල්ලි බිඳී ගිය නමුත් එය ඒවා සංඛ්‍යාත්මකව තවත් වැඩි වීමට ද හේතු විය.

මෙහි සිටින බොහෝ දෙනෙකු විශ්වාස කරන්නේ මෙම අපරාධ කල්ලිවලට එරෙහි යුද්ධය කිසි දා ජයගත නොහැකි වනු ඇති බව ය.

කපිතාන් බුස්ටමන්තේ සටන අත්හැර නොමැත.

අපි තවත් මෙහෙයුමක් සඳහා ඔහු හා එක්වන්නේ, ඔහු ඩ්‍රෝන යානයක් ආධාරයෙන් පටු වීදිවල ඉහළ සිට ලබාගන්නා දර්ශන නිරීක්ෂණය කරමින් සැඟවී සිටින අවස්ථාවක ය. ක්‍රීඩාංගණයකට මායිම්ව සැරිසරන පුද්ගලයන් තිදෙනෙකු ඔහුට නිරීක්ෂණය වේ. ඔහු පවසන්නේ ඔවුන් "කුඩා පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්" බව යි. ඔවුන් සිටින්නේ ජාවාරම් ජාලයේ පහළ ම ස්ථරයේ වන අතර, ඔවුන් කිලෝග්‍රෑම් ගණනින් නොව ප්‍රාදේශීයව ඉතා කුඩා ප්‍රමාණවලින් මත්ද්‍රව්‍ය අලෙවි කරන්නෝ වෙති.

මිනිත්තු කිහිපයක් ඇතුළත, ඔහු සහ ඔහුගේ කණ්ඩායම එම සැකකරුවන් සිටින නිවසේ දොරකඩට ම ගමන් කරති. නැවතත් දොරවල් බිඳ දැමීමේ මෙවලම පිටතට ගෙන ඇති අතර ක්ෂණිකව ඔවුහු මුළුතැන්ගෙට අවතීර්ණ වෙති. එම අවස්ථාවේදී මැදිවියේ පසුවන කාන්තාවක විරෝධය පළ කරන අතර කුඩා ගැහැනු දරුවෙකු හඬා වැටෙයි.

විදුලිය නොමැති බැවින් පන්දම් එළියක් ආධාරයෙන් පොලිස් නිලධාරීහු නිවසේ කාමරයෙන් කාමරයට යමින් අල්මාරි ඇර බලමින් සහ මෙට්ට ඔසවමින් පරීක්ෂා කළහ. උඩුමහලේ, ජනේලයකට පිටුපසින් ඇති රහසිගත ස්ථානයක් ඔවුහු සොයා ගන්නා අතර එතැනින් මතුවන තරුණ වියේ පසුවන සැකකරුවෙකු භාරයට ගැනේ. තවත් දෙදෙනෙකු වෙනත් කාමරයකදී ග්‍රහණයට ගෙන මාංචු දමති. ඔවුන් තිදෙනා තමන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ බව ප්‍රතික්ෂේප කරන අතරතුර ම රැගෙන ගියේ ය.

ආසන්නයේ තිබූ මල් පෝච්චියක සඟවා තිබූ කුඩා "H" [හෙරොයින් අඩංගු මත්ද්‍රව්‍යක් හඳුන්වන යෙදුමක්] පැකට් කිහිපයක් කපිතාන්වරයා සොයා ගනී. එය හෙරොයින් ඉතා සුළු ප්‍රමාණයක් අඩංගු නමුත් දැඩි ලෙස ඇබ්බැහිවනසුලු මිශ්‍රණයක් වන අතර ජාවාරම්කරුවන් විසින් පැකට්ටුවක් ඩොලර් 1කට (පවුම් 0.75) අලෙවි කෙරෙන මත්ද්‍රව්‍ය විශේෂයකි.

සැකකරුවන්ගෙන් එක් අයෙකුට චෝදනා ගොනු කෙරුණු අතර, ඔහු වරදකරු වුවහොත් ඔහුට වසර පහක සිරදඬුවමක් හිමිවිය හැක. අභිචෝදකයින් විසින් අනෙක් දෙදෙනා නිදහස් කරන ලදී. ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පවසන්නේ මෙවැනි දේ බොහෝ සෙයින් සිදු වන බවයි. ඔවුහු අධිකරණ පද්ධතිය සහ අභිචෝදක කාර්යාලය දූෂණය වී ඇති බවට චෝදනා කරති.

Choropleth map of Ecuador showing the total number of violent deaths by province in 2025, shaded from light pink (0–99 deaths) to dark red (1,500+). Coastal provinces are darkest, indicating higher death counts. Guayas province (with the city of Guayaquil labelled) is the darkest and highlighted with a label noting 4,106 deaths were recorded in 2025, the highest in the country. The capital Quito is also labelled in the north of the country. Surrounding countries Colombia and Peru and the Pacific Ocean are also labelled, with an inset map locating Ecuador in South America.
ඡායාරූප ශීර්ෂ වැකිය, පසුගිය වසරේ වැඩි ම ප්‍රචණ්ඩකාරී මරණ සංඛ්‍යාවක් සිදුවූයේ ඩුරාන් පිහිටා ඇති පළාත වන ග්වෙයාස්හි ය

"අපි ඔවුන්ව (මැර කල්ලි සාමාජිකයන්) සිරගත කරනවා, ඔවුන් [අභිචෝදකයන්] ඔවුන්ව නිදහස් කරනවා," ඩුරාන් පොලිසියේ නියෝජ්‍ය අණදෙන නිලධාරී කර්නල් සන්තියාගෝ ගවිලානෙස් පවසයි. "අපි ඒ බව දන්නේ අපි වැටලීම් සිදු කරද්දී අපි ඔවුන්ව නැවත අල්ලා ගන්නා නිස යි. මෙහෙම නිදහස් වන සමහර අය මිනිසුන්ව ඝාතනය කලා අනාථයෝ ඇති කරනවා." මැර කල්ලිවලට "නීතිය, විනිසුරුවරුන් සහ දේශපාලඥයන් සල්ලිවලට ගැනීමට," තරම් මුදල් ඇති බව ඔහු අපට පවසයි.

මැර කල්ලිවල මෙම මුදල් බලය පිළිබඳ උදාහරණයක් වෙනත් ස්ථානයක සිටින වෙනත් පොලිස් නිලධාරියෙකුගෙන් අපට දැනගන්නට ලැබිණි. ඔහුගේ ආරක්ෂාව උදෙසා, ඔහුගේ නම හෝ ඔහු සේවය කරන ස්ථානය හෙළි කිරීමට අපට හැකියාවක් නැත.

කෙටි පණිවිඩ මාර්ගයෙන් අවස්ථා දෙකකදී ඔහු සම්බන්ධ කර ගනිමින් විශාල අල්ලසක් එනම් "රැකියාවෙන් විශ්‍රාම යාමට තරම් ප්‍රමාණවත් මුදලක්" පිරිනැමීමට යෝජනා කළ බව ඔහු අපට පැවසුවේ ය. ඔහු එය ප්‍රතික්ෂේප කර ඇත.

යම් කිසි අයෙකු, ඇතැම්විට ඔහු සමග සේවය කරන අයෙකු ඔහු සේවය කරන්නේ කොතැන ද සහ ඔහු කරන්නේ කුමක් ද යන්න පිළිබඳව මැර කල්ලියට නිවැරදිව තොරතුරු ලබා දී තිබුණේ ය.

"බලාගෙන ඉන්නේ කවුද කියලා ඔයා කවදාවත් දැන ගන්නේ නෑ," ඔහු පැවසුවේ ය. ඩුරාන් සහ ඒ අවට ප්‍රදේශවල ගත කළ සතියක කාලය පුරාවට අපට එවැනි බොහෝ දේ අසන්නට ලැබිණි.

නැවතත් වැටලීම කළ ස්ථානය දෙසට අවධානය යොමු කරද්දී වෙඩි නොවදින ඇඳුමින් සැරසී සිටි තවත් එක් දිගු දවසක් අවසන් වී තිබිණි. නමුත් කැප්ටන් බුස්ටමන්තේ පවසන්නේ, ඔහුට තවදුරටත් වැටලීම් සිදු කිරීමට තිබෙන බව ය. "සමහර විට, මට ටිකක් මහන්සියි වෙන්න පුළුවන්," ඔහු පිළිගනියි, "නමුත් ඒක මගේ රැකියාව. අපි මෙම යුද්ධය ජයගන්නා බව මම විශ්වාස කරනවා. අපිට ඒක කරන්න සිද්ධ වෙනවා."

අප කතා කරමින් සිටින අතරතුර ම, එම ප්‍රදේශයේ සිටින ප්‍රධාන මැර කල්ලි නායකයින්ගෙන් එක් අයෙකු ඒ ළඟ ම ස්ථානයක සිටින බව නිරීක්ෂණය විය. "ඔහු ජාවාරම්කරුවන් පාලනය කරන බව අපි දන්නවා," කපිතාන් පවසයි. "නමුත් අප සතුව කිසිදු සාක්ෂියක් හෝ තොරතුරක් නැහැ, ඉතිං අපට ඔහුව අත්අඩංගුවට ගන්න බැහැ".

නමුත් මෙහි සිටින පොලිසිය අවධාරණය කරන්නේ, තමන්ගේ ක්‍රියාමාර්ගවල බලපෑමක් ඇති බව ය. ඔවුන් පවසන පරිදි මෙම වසරේ මුල් මාස හය තුළ ඩුරාන්හි සිදුවූ මිනීමැරුම් අනුපාතය අඩකින් පහත වැටී ඇත.

ප්‍රගතියක් ඇති බවට වෙනත් සලකුණු ද ඇති බව ඔවුහු අපට පවසති. ඒ අනුව රාත්‍රී 7න් පසුව විදී තවදුරටත් පාළු ස්වභාවයක් නොගන්නා අතර, හිස් ගසා දැමූ හෝ අත්-පා කපා දැමූ මළ සිරුරු ද තවදුරටත් හමුනොවේ. කර්නල් ගසිලානෙස් පවසන පරිදි මීට පෙර එය සාමාන්‍ය දෙයකි.

"අපි මැර කල්ලි පාලනය කරගන්න සමත් වෙලා තියෙනවා," ඔහු පවසයි. "සම්පූර්ණ පාලනය ලබාගැනීම යම් කාලයක් ගත වන ක්‍රියාවලියක් වේවි."

අනෙකුත් ප්‍රදේශවල සිදුවන්නේ අපරාධකරුවන් විසින් පොලිසිය පාලනය කරනු ලැබීම යි. සම්බන්ධතාවක් ඔස්සේ, නගරයේ සිට පැයක පමණ ගමනකින් ළඟාවිය හැකි ප්‍රදේශයකදී ප්‍රාදේශීය මැර කල්ලියක් ඔවුන්ගේ බලප්‍රදේශයේදී ම හමුවීමට අපි කටයුතු යොදා ගත්තෙමු. අප ජොනතන් ලෙස හඳුන්වන එම කල්ලියේ නායකයා මා හා පැවසුවේ, තමාගේ ගෙවීම් ලේඛනයේ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු සිටි බව ය.

"එයාලා කොහේ හරි මෙහෙයුමක් කරන්න යන වෙලාවට මට කතා කරනවා," ඔහු පැවසීය. "බඩු හංගන්න සහ එතනින් අයින් වෙන්න කියලා ඔවුන් මට කියනවා. ඔවුන් එනකොට ඔවුන්ට හොයා ගන්න දෙයක් නෑ."

මෙම පූර්ව අනතුරු ඇඟවීමේ ක්‍රමය වෙනුවෙන් ඔහුට මසකට ඩොලර් 1,500 (පවුම් 1,100ක්) සිට ඩොලර් 2,000ක් (පවුම් 1,500ක්) දක්වා මුදලක් වැය වේ.

A man with a pistol sits on a bed. He's wearing blue shorts, a white Tommy Hilfiger t-shirt, a black cap and a red balaclava obscuring his face.

ඡායාරූප මූලාශ්‍රය, Lee Durant/BBC

ඡායාරූප ශීර්ෂ වැකිය, ජොනතන් [ඔහුගේ සැබෑ නම නොවේ] පවසන්නේ ඔහුගේ වැටුප් ලේඛනයේ පොලිස් නිලධාරීන් හතර දෙනෙකු සිටින බව ය

37 වන වියේ පසුවන ජොනතන්, කැප්ටන් බුස්ටමන්තේට වඩා අවුරුදු කිහිපයක් පමණක් වයසින් වැඩි වන නමුත් ඔහු සිටින්නේ සතුරු පාර්ශවයේ ය. ඔහු පවසන්නේ පවුල නඩත්තු කිරීම සඳහා වයස අවුරුදු 18දී ඔහු මැර කල්ලියකට සම්බන්ධ වූ බව යි.

ඔහු සහ ඔහුගේ පිරිස (තරුණ පිරිමි ළමුන්) අර්ධ ස්වයංක්‍රීය රයිෆලයක් සහ පිස්තෝලයක් ඇතුළුව ගිනිඅවි අතැතිව, දහවල් කාලයේදී රළු මාවත් ඔස්සේ ගමන් කළහ. අප දුටු ළාබාලතම කල්ලි සාමාජිකයා වෙඩි නොවදින කබායක් සහ සෙරෙප්පු දෙකක් පැළඳ සිටි සිහින් සිරුරුක් හිමි 17 හැවිරිදි තරුණයෙකි. ඔවුහු සියල්ලෝ ම ඔවුන්ගේ මුහුණු ආවරණය කරගෙන සිටියහ.

ජොනතන් අපගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේ ඔහුගේ පිරිස ද රැස්ව සිටි සිමෙන්ති ගඩොලින් තැනූ නිවසක පිහිටි පටු කාමරයක් තුළදී ය. එහි වැඩි ඉඩ ප්‍රමාණයක් වෙන්කර තිබුණේ ඇඳකට ය. ඔහු තමා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ මනුෂ්‍ය ඝාතකයෙකු බව පිළිගත්තේ ය.

"ඔබ කී දෙනෙකුගේ ජීවිත නැති කරලා තියෙනවා ද?" මම ඇසුවෙමි.

"දැනට අට දෙනෙක් විතර මම හිතන්නේ. මට හරියට ම මතක නෑ," මා වෙත එල්ල වී තිබූ පිස්තෝලයක් උකුල මත තබාගෙන ඔහු පිළිතුරු දුන්නේ ය.

ජොනතන් පැවසුවේ, ඔහුගේ කල්ලිය අහිංසක මිනිසුන් මරා නොදමන බව යි. ඔවුන් වෙනුවට බලයට පැමිණීමට උත්සහ කරන ප්‍රතිවිරුද්ධ අපරාධ කල්ලි පමණක් ඉලක්ක කරන බව ඔහු පැවසුවේ ය.

"උන්ට ඕනේ බලහත්කාරයෙන් මෙතැනට එන්න," ඔහු පැවසුවේ ය. "උන් මිනිස්සු මරලා එන්නේ, අපි ඒකට උත්තර දෙනවා. අපිට දැන් තියෙන ප්‍රධාන ම දේ තමයි අනිත් කල්ලිය මුළුමනින් ම අයින් කරලා දාන එක."

අප කතා කරමින් සිටියදී ප්‍රදේශවාසීන් දොරටුව අසලට රැස් වූ අතර ළමයි ද ඒ අතර වූහ. ඉක්වදෝරයේ සිටින මානව හිමිකම් ක්‍රියාකාරීන් අපට පැවසුවේ වයස අවුරුදු 12 වන විට පිරිමි ළමුන් පාතාල කල්ලි වෙත බඳවා ගත හැකි බව යි. වසර තුනකට පසු ඔවුන් ඝාතකයින් බවට පත්විය හැකි ය.

Seven young men in balaclavas brandish automatic weaponry in broad daylight, facing the camera. two of the men are on a dirt bike.

ඡායාරූප මූලාශ්‍රය, Lee Durant/BBC

ඡායාරූප ශීර්ෂ වැකිය, කල්ලි සාමාජිකයෝ අවි අතැතිව මහ දවාලේ වීදි ඔස්සේ නිදහසේ ගමන් කරති

ජොනතන්ට නව යොවුන් වියේ දරුවන්ගේ අතේ තුවක්කු තැබීම හෝ ඔහු ආරක්ෂා කරනවා යැයි කියන අසල්වැසි ප්‍රදේශයේ කොකේන් විකිණීම සම්බන්ධයෙන් කණගාටුවක් නොතිබිණි. මත්ද්‍රව්‍ය ජාවාරම මුලිනුපුටා දැමිය නොහැකි බව ඔහු අවධාරණය කරයි.

"මම හිතන්නේ මේක කවදාවත් ඉවර වෙන්නේ නැති ප්‍රශ්නයක්," ඔහු පවසයි. "උන් අපව විනාශ කරලා දැම්මොත්, තවත් කල්ලියක් එයි. ඒකත් විනාශ කළොත් තවත් කල්ලියක් එයි."

ඔහු ජීවත් වූ ආකාරයට ම ගිනිඅවියකින් ම ඔහු මිය යනු ඇතැයි ඔහු අපේක්ෂා කරයි. "මරණයට වන්දි ගෙවන්නේ මරණයෙන්මයි," ඔහු පැවසීය. "නමුත් උන් මාව මරන්න ආවොත්, මම උන්ට ඒක ලේසියෙන් කරන්න දෙන්නේ නෑ."

රාත්‍රී දෙකකට පසු, නැවතත් ඩුරාන්හිදී, අපරාධ කල්ලි තම ගැටලු විසඳා ගන්නා ආකාරය අපි දුටුවෙමු. පොලිස් වාහනවල දැල්වෙන ආලෝක මැද, යතුරුපැදියක් අසල ඇද වැටී තිබූ පුද්ගලයෙකුගේ මළ සිරුරක් දක්නට ලැබිණි. වෙඩි උණ්ඩවල හිස් කොපු තවමත් බිම විසිරී තිබේ. අසල්වැසියෝ බොහෝ දුරට නිහඬව ඒ දෙස බලා සිටියහ.

පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවක එකිනෙකා වැළඳ හඩා වැටුණු අතර ඔවුන් මියගිය පුද්ගලයාගේ ඥාතීහු වෙති.

මෙය එක් කල්ලියක් තවත් කල්ලියකින් පළිගැනීම සඳහා කළ ප්‍රහාරයක් බවට පොලිසිය සැක කළේ ය.

අධිකරණ වෛද්‍ය කණ්ඩායම් මළ සිරුර ට්‍රොලියක් මතට ගෙන ශීතාගාර පහසුකම් සහිත වෑන් රථයකට යොමු කළහ. නැවතත් වරක් ප්‍රචණ්ඩත්වය හේතුවෙන් මරණයක් සිදුව ඇත. ඒ වන විටත් වෑන් රථය තුළ තවත් මළ සිරුරක් තිබිණි.

Police stand beside a corpse, lying next to a toppled motorcycle on the street. Onlookers watch from behind police tape.

ඡායාරූප මූලාශ්‍රය, Lee Durant/BBC

ඡායාරූප ශීර්ෂ වැකිය, පසුගිය වසර 10 තුළ ඉක්වදෝරයේ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් සිදුවන මරණ ඉහළ ගොස් තිබේ

සාක්ෂිකරුවෙකු කතා කිරීමට කැමැත්ත පළ කළ ද නම සඳහන් කිරීමට අකැමති විය. "ඔහුගේ පිටට වෙඩි තියලා තිබුණේ," ඔහු අප හා පැවසීය. "ඔහු බිමට වැටෙද්දී ම, උන් ඔළුවට ම වෙඩි තියලා ඉවර කළා. මෝටර් බයිසිකලයකින් ආපු දෙන්නෙක් ඔහුට හයපාරක් වෙඩි තිබ්බා."

"අපි දැන් මේවට හුරු වෙලා, මොකද මේවා හැමදා ම වෙනවා," ඔහු පැවසීය. "ඔයා නිකන් එළියට බැස්සත් අහම්බයෙන් එල්ල වන වෙඩි පාරක් වදින්න පුළුවන්. එළියට යන්නවත්, යහළුවන් හෝ පවුලේ අය එක්ක කතා කරන්නවත් බෑ, මොකද කවුරු හරි ඔයාට වෙඩි තියන්න පුළුවන්."

කල්ලිවලට එරෙහි ජනාධිපතිවරයා ගෙන යන සටන කිසිදු වෙනසක් ඇති කරනු ඇතැයි ඔහු අපේක්ෂා නොකරයි.

"අපරාධකරුවන් අවතාර වගේ," ඔහු පහත් හඬින් පැවසුවේ ය. "ඔවුන් කැමති ඕනෑ ම තැනකින් මතු වෙනවා."

ඉන්පසු ඔහු උණුසුම් රාත්‍රී සුළඟ අතරින් නොපෙනී ගියේ ය.

ඔබ දෙස කවුරුන් බලා සිටින්නේ දැයි ඔබට කිසි විටෙකත් දැන ගැනීමට නොහැකි ය.

අතිරේක වාර්තාකරණය: විට්ස්කා බුරීමා, ලී ඩුරාන්ට්, ක්‍රිස් ගිබ්සන්, තලී පොන්සේ, මොරීසියෝ ටොරෙස්