ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලි වාර්තා අලුත් කළ චමරි අතපත්තුට අහිමි වුණු අසමසම වාර්තාව

චමරි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 4

2026 ආසියානු කුසලාන පන්දුවාර 20/20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ ඉන්දුනීසියාව සමග පැවති තරගය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 75කින් ජය ගත්තේය.

එහිදී ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ලකුණු පහකට කඩුලු 7ක් දවා ගනිමින් තරගාවලි ඉතිහාසයේ ඉහළම දක්ෂතාව ප්‍රදර්ශනය කළ ක්‍රීඩිකාව ලෙස වාර්තා අතරට එක් වූවාය.

ඩුබායිහිදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට ශ්‍රී ලංකාව කඩුලු 7ක් දැවී ලකුණු 124ක් රැස් කළ අතර නිලක්ෂිකා සිල්වා ලකුණු 50ක් රැස් කළාය.

තරගාවලි ඉතිහාසයේ වාර්තා වූ සාර්ථකම පන්දු යැවීම

තරගය ආරම්භයේ සිටම පන්දු යැවීමේදී චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගෙන් ඉන්දුනීසියා කාන්තා කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල විය.

ඔවුන්ගේ පළමු කඩුල්ල දවා ගත්තේද චමරි අතපත්තු ය.

ඉන් අනතුරුව තරගයේ පස්වැනි පන්දුවාරයේ පළමු සහ දෙවැනි පන්දුවලදී අඛණ්ඩව කඩලු දෙකක් දමා ගනිමින් චමරි කඩුලු ත්‍රිත්වය ආසන්නයට ම පැමිණියා ය.

කෙසේ නමුත් ඇයට එම අවස්ථාවේ කඩුලු දෙකකින් සෑහීමට පත් වීමට සිදුවිය.

චමරි තරගයේ 18 වෙනි පන්දු වාරය ක්‍රියාත්මක කිරීම අරඹනවිට ප්‍රතිවාදී ඉන්දුනීසියාවේ කඩුලු හතක් ලකුණු 46කදී බිඳ වැටී අවසන්ව තිබිණි.

18 වැනි පන්දුවාරයේ පළමු පන්දුවේදී චමරි තම පස් වෙනි කඩුල්ල දවා ගත්තාය.

ලකුණු 5කට කඩුලු 7ක්

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඉන් අනතුරුව එම පන්දු වාරයේ පිළිවෙළින් දෙවැනි සහ තුන්වෙනි පන්දුවලදී ද ක්‍රියාත්මක වූ චමරි ඉදුනීසියාවේ අවසන් කඩුලු දෙක දවා ගනිමින් පෙර අවස්ථාවේදී අහිමි වූ කඩුලු ත්‍රිත්වය සම්පූර්ණ කර ගැනීමට සමත් වූවා ය.

පළමු අවස්ථාවේදී ද ඇයට කඩුලු ත්‍රිත්වය සම්පූර්ණ කළ හැකි වූවා නම්, එක් තරගයකදී කඩුලු ත්‍රිත්ව දෙකක් ලබා ගත් පන්දු යවන්නියක ලෙස අසමසම වාර්තාවක් පිහිටුවීමට චමරි අතපත්තුට අවස්ථාවක් තිබිණි.

ඒ අනුව පන්දු වාර තුනයි පන්දු තුනක් ක්‍රියාත්මක කළ චමරි ප්‍රතිවාදී කඩුලු හතක් දවාගත්තේ ලකුණු පහක් පමණක් ලබා දෙමිනි.

එම තරගයේදී ඇගේ පන්දු යැවීමේ සාමාන්‍ය (economy rate) 1.42ක් ලෙස සටහන් විය.

ඒ අනුව මෙම තරගාවලි ඉතිහාසයේ වාර්තා වූ සාර්ථකම පන්දු යැවීම මෙය වේ.

එමෙන් ම චමරි, පන්දුවාර 20/20 ක්‍රිකට් තරගයේ පිටියේ පන්දු යැවීමේ අංශයෙන් ප්‍රදර්ශනය කළ ඉහළම දක්ෂතාවද මෙය වේ.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් පන්දුවාර 20/20 තරග පිටියේ කඩුලු 7ක් දවා ගත් පළමු අවස්ථාව ලෙසටද මෙය වාර්තා අතරට එක් විය.

පන්දුවාර 20/20 කාන්තා ජාත්‍යන්තර තරග අංශයේ පස්වැනි හොඳම පන්දු යැවීම ලෙසද චමරි (සැප්තැම්බර් 02 වැනිදා) ලබාගත් කඩුලු 7 සටහන් විය.

දකුණතින් පිට දඟපන්දු (Right-arm off break) යවන ක්‍රීඩිකාවක වන චමරි ඊයේ වාර්තා අතරට එක් වුණේ පන්දු වාර 20/20 තරග අංශයේ කඩුලු ත්‍රිත්වයක් හෙවත් හැට්‍රික් එකක් ලබාගත් පළමු ශ්‍රී ලංකා පන්දු යවන්නිය ලෙසය.

"මට නිලක්ෂි ක්‍රීඩා කරපු ඉනිම අගය කරන්න ඕනේ, වගේම මම මේ (තරගයේ ක්‍රීඩිකාව) සම්මානය ඇය එක්ක බෙදාගන්න කැමතියි. මුලදී නම් අපි ඇත්තටම කනස්සල්ලෙන් හිටියේ. මේ වගේ තත්ත්වයන්ට අපි හැඩගැහෙන්න ඕනේ, ඒත් අපි එහෙම නොකරපු නිසා අපිට කඩුලු කිහිපයක් අහිමි වුණා. මේක ඊළඟ තරගයට හොඳ පාඩමක්. මම කළේ වෙන කිසිම උපක්‍රමයක් නැතුව කෙළින්ම කඩුල්ල ඉලක්ක කරලා පන්දු යවපු එක විතරයි. බංග්ලාදේශ තරගය වෙනුවෙන් අපේ පිතිකරණ අංශය විදිහට අපි හොඳ සූදානමක් වෙන්න ඕනේ. අපේ පන්දු යවන්නන් සහ පන්දු රකින්නන් නම් ගොඩක් හොඳ සේවයක් කළා." තරගයෙන් අනතුරුව චමරි මාධ්‍ය වෙත පැවසුවාය.

චමරිගේ දක්ෂතා

මේ දක්වා පන්දුවාර 20/20 ජාත්‍යන්තර තරග 167 කට සහභාගි වී ඇති චමරි කඩුලු 85ක් දවාගෙන තිබේ.

තුන් ඉරියව් ක්‍රීඩිකාවක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වන ඇය පිතිකරණය, පන්දු යැවීම සහ පන්දු රැකීම යන අංශ තුනෙන්ම ඉහළ දක්ෂතා ප්‍රදර්ශනය කර තිබේ.

පන්දුවාර 20/20 තරග අංශයෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 4,000 සීමාව පසුකළ එකම සහ වැඩිම ලකුණු ලාභිනිය වන්නේ ඇයයි.

ඇය තරග 167කදී ශතක හතරක් ද සමගින් පන්දුවාර ජාත්‍යන්තර ලකුණු 4094 ක් ලබා සිටී.

ආසියානු කුසලාන පන්දුවාර 20/2 කාන්තා ක්‍රිකට් තරග ඉතිහාසයේ ශතකයක් ලබාගත් පළමු සහ එකම ක්‍රීඩිකාව ලෙසද ඇය 2024 වසරේදී මලයාසියාවට එරෙහිව පැවති තරගයේදී වාර්තා අතරට එක්වූවාය.

පන්දුවාර 20/20 අංශයේ ලොව දක්ෂතම පිතිකාරිණියන් අතර ලෝක ශ්‍රේණිගත කිරීම්හි 6 වෙන ස්ථානයේ පසු වන්නේ චමරි අතපත්තුය.

20/20 ජාත්‍යන්තර පන්දු යවන්නියන් අතර 33වන ස්ථානයේ පසුවන චමරි , මේ වන විට එම අංශයේ තුන් ඉරියව් ක්‍රිඩිකාවන් අතර 3 වැනි ස්ථානය හිමි කරගෙන සිටියි.