ඔබේ විභාග පිළිතුරු පත්‍ර RTI ඉල්ලීමකින් ඔබට ම බලා ගැනීමට අභියාචනාධිකරණය ඉඩ සලසයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 7
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධි පාඨමාලාවට සිසුන් තෝරා ගැනීම සඳහා පවත්වන තරග විභාගයේ අපේක්ෂකයෙකුගේ උත්තර පත්‍රයක්, නැවත බැලීමට ඇති හැකියාව ගැන අභියායචනාධිකරණය විසින් ලබා දෙන ලද තීන්දුවක් සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යවල සංවාදයක් මතුව තිබේ.
බීබීසී සිංහල කළ නිරීක්ෂණයකදී ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, X, රෙඩිට් වැනි සමාජ මාධ්‍ය ගණනාවක ම මෙම පුවත සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු අදහස් දක්වා ඇති ආකාරය නිරීක්ෂණය වූ අතර, මෙය විභාග ප්‍රතිඵලවල විනිවිදභාවය සම්බන්ධයෙන් 'හොඳ පියවරක්' ලෙස බොහෝ දෙනෙකු අගය කර තිබිණි.
එලෙස අදහස් දක්වා තිබූ බොහෝ දෙනෙකු ඔවුන්ගේ පුද්ගලික අත්දැකීම් ද හුවමාරු කරගෙන තිබිණි.
මෙම නඩු තීන්දුව සුවිශේෂී වන්නේ ඇයි? එසේ නම් ඔබට ඔබගේ පිළිතුරු පත්‍ර නැවත බැලීමට ඉල්ලා සිටිය හැක්කේ කෙසේ ද?
පිළිතුරු පත්‍රය ඉල්ලා යොමු කළ RTI ඉල්ලීම
ගල්ගමුව, දිවුල්වැව පදිංචි සශින්ද්‍යා රණසිංහ 2023 වසරේ ජනවාරි 08 වන දින ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධි පාඨමාලාව සඳහා සිසුන් තෝරා ගැනීමට පවත්වන තරග විභාගයට පෙනී සිට ඇති අතර, ඇය වෙනුවෙන් ඇගේ පියා වන ජානක රොෂාන් විසින් සිය දියණියගේ පිළිතුරු පත්‍රය සහ ලකුණු ඉල්ලා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ තොරතුරු ඉල්ලීමක් සිදු කර තිබේ.
2023 ජූලි මාසයේදී මෙම ඉල්ලීම විශ්වවිද්‍යාලයේ තොරතුරු නිලධාරියා විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර, පසුව ආයතනයේ බලයලත් නිලධාරියා ද ඔවුන් ඉදිරිපත් කළ අභියායචනය ප්‍රතික්ෂේප කර තිබේ.
2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනතේ 5(1)(i) යටතේ ඔවුන් මෙම තොරතුරු ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත්තේ, විභාගයක පිළිතුරු පත්‍ර ඇතුළු ඒ සම්බන්ධ ද්‍රව්‍ය හෙළිදරවු කිරීම විභාගයේ අඛණ්ඩතාවයට සහ රහස්‍යභාවයට හානියක් වන බව පවසමින් ය. එමෙන් ම, එය වැරදි නීතිමය පූර්වාදර්ශයක් වන බවට ද ඔවුහු එහි සඳහන් කර තිබේ.
කෙසේ වෙතත්, ජානක රොෂාන්ගේ අභියාචනයකින් පසුව, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව 2023 නොවැම්බර් 28 දින, ඉල්ලා සිටින තොරතුරු නිකුත් කරන ලෙස විශ්වවිද්‍යාලයට නියෝග කර තිබේ.
මෙම තීරණයට අභියෝග කරමින්, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබිණි.
පිළිතුරු පත්‍ර නිකුත් කිරීම විභාගයේ ස්වභාවය සහ ව්‍යුහය හෙළි කරන බවට පෙත්සම්කරුවන් තර්ක කර තිබිණි.

ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK | OPEN UNIVERSITY OF SRI LANKA
'උසස් අධ්‍යාපන ආයතනවලට හැංගිමුත්තන් කරන්න බෑ'
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
කෙසේවෙතත් අධිකරණය තීන්දුවේ, උසස් අධ්‍යාපන ආයතන විසින් විනිවිදභාවය පවත්වා ගැනීම වැදගත් බව පෙන්වා තිබේ.
"උසස් අධ්‍යාපන ආයතනවලට හැංගිමුත්තන් සෙල්ලම් කිරීමට නොහැකි," බව අධිකරණ නියෝගයේ සඳහන් වේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14A වගන්තිය සහ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත අනුව විනිවිදභාවය වැදගත් බව එහි පෙන්වා දී තිබේ.
තව ද තොරතුරු දැනගැනීමේ පනතේ 4 වන වගන්තිය අනුව, වෙනත් ලිඛිත නීතියක කුමක් සඳහන් වුව ද තොරතුරු දැනගැනීමේ පනත ඉක්මවා යා නොහැකි අතර, පනතේ සහ වෙනත් ලිඛිත නීතියක් අතර අනනුකූලතාවයක් ඇති වුවහොත් මෙම පනතේ විධිවිධාන බලපැවැත්වෙන බවට සඳහන් වන බව අභියාචනාධිකරණය පෙන්වා දී තිබේ.
මේ අනුව විශ්වවිද්‍යාලයේ අතුරු ව්‍යවස්ථාවල කුමක් සඳහන් වුවත් ඊට ඉහළින් තොරතුරු පනතේ ප්‍රතිපාදන පවතින නිසා, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව විසින් අදාළ විභාග අපේක්ෂකයාගේ පිළිතුරු පත්‍රය ලබා දෙන ලෙස විශ්වවිද්‍යාලයට ලබා දී ඇති නියෝගයේ දෝෂයක් සොයා ගත නොහැකි බව අභියායචනාධිකරණ තීන්දුවේ සඳහන් වේ.
එනම්, කොමිසමේ තීන්දුව අධිකරණය විසින් ස්ථිර කර තිබේ.
අභියාචනාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ සහ අභියාචනාධිකරණ විනිසුරු ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර යන විනිසුරුවරුන් විසින් මැයි 08 වන දින මෙම නියෝගය නිකුත් කරනු ලැබ තිබේ.
මෙය විනිවිදභාවය පිළිබඳ නව පියවරක් වන්නේ ඇයි?
සාමාන්‍යයෙන් පාසලේදී වාර විභාගයට පෙනී සිටීමෙන් පසුව ගුරුවරුන් විසින් එම ප්‍රශ්න පත්‍ර සඳහා ලකුණු ලබා දී එම උත්තර පත්‍ර නැවත සිසුන් වෙත ම ලබා දෙයි.
නමුත් ශ්‍රී ලංකාවේ පවතින වෙනත් තරග විභාගවලදී හෝ විශ්වවිද්‍යාල විභාගවලදී එම අවස්ථාව විභාගයට පෙනී සිටින්නන් හට නොලැබේ.
ඔවුන්ට හිමි වන්නේ පිළිතුරු පත්‍ර නැවත පරීක්ෂා කිරීම සඳහා නැවත ඉල්ලීමක් සිදු කිරීම පමණි. එහිදී නැවත පරීක්ෂා කර ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන නමුත් ලකුණු ලබා දුන් පිළිතුරු පත්‍ර නැවත ලබා ගැනීමේ හැකියාවක් නොමැත.
විශේෂයෙන් ම මෙම පුවත පළවූ පසු විවිධ පිරිස් ඔවුන්ගේ පුද්ගලික අත්දැකීම් පළ කර තිබූ අතර, ඒ අනුව ඒවා බොහෝ විට විභාග ප්‍රතිඵලවල විනිවිදභාවය සම්බන්ධයෙන් ඔවුන්ට ප්‍රශ්න පැවති බව පෙනී යන්නකි.
මේ සම්බන්ධයෙන් රෙඩිට් සමාජ මාධ්‍යයේ මෙලෙස එක් අයෙකු අදහස් දක්වා තිබිණි.
ඉංග්‍රීසි භාෂාවෙන් පළ කර තිබූ එහි දළ සිංහල පරිවර්තනයක් පහත පරිදි ය.
"අපේ බැච් එකේ A නැත්නම් A+ විතරක් තිබුණු පිරිමි ළමයෙක් හිටියා. එයා සම්මාන සහ ශිෂ්‍යත්ව ලබන්න වුණත් පුළුවන්කමක් තිබුණා. එයාගේ අවසාන විභාගයේදී එයාට එක විෂයකට C සාමාර්ථයක් ලැබුණා. කාටවත් විශ්වාස කරන්න බැරි වුණා. එයා අපි හැමෝට ම ඒ විභාගය වෙනුවෙන් උදවු කළා, හැමෝම වගේ එයාට වඩා හොඳ ප්‍රතිඵල ගත්තා. යාළුවා මානසිකව වැටිලා හැමදේම අතෑරියා. දැන් එයා එයාගේ ම සිල්ලර කඩේ කරගෙන හොඳින් ඉන්නවා, නමුත් මේක [අධිකරණ තීන්දුව] කලින් තිබුණා නම්, යාළුවා දැන් එයාගේ PhD එක කරනවා," යැයි එහි සඳහන් ව තිබිණි.
![රෙඩිට් සමාජ මාධ්‍යයේ මෙලෙස එක් අයෙකු අදහස් දක්වා තිබිණි.
ඉංග්‍රීසි භාෂාවෙන් පල කර තිබූ එහි දළ සිංහල පරිවර්තනයක් පහත පරිදි ය.
"අපේ බැච් එකේ A නැත්නම් A+ විතරක් තිබුණු පිරිමි ළමයෙක් හිටියා. එයා සම්මාන සහ ශිෂ්‍යත්ව ලබන්න වුණත් පුළුවන්කමක් තිබුණා. එයාගේ අවසාන විභාගයේදී එයාට එක විෂයකට C සාමාර්ථයක් ලැබුණා. කාටවත් විශ්වාස කරන්න බැරි වුණා. එයා අපි හැමෝට ම ඒ විභාගය වෙනුවෙන් උදවු කළා, හැමෝම වගේ එයාට වඩා හොඳ ප්‍රතිඵල ගත්තා. යාළුවා මානසිකව වැටිලා හැමදේම අතෑරියා. දැන් එයා එයාගේ ම සිල්ලර කඩේ කරගෙන හොඳින් ඉන්නවා, නමුත් මේක [අධිකරණ තීන්දුව] කලින් තිබුණා නම්, යාළුවා දැන් එයාගේ PhD එක කරනවා," යැයි එහි සඳහන් ව තිබිණි.](https://bbcinsight.pages.dev/_bbc-assets/ichef.bbci.co.uk/ace/ws/640/cpsprodpb/04b9/live/57c4f4f0-4e03-11f1-b55d-0f258dce1735.png.webp)
ඡායාරූප මූලාශ්‍රය, R / SRI LANKA
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ආඥා පනත් සහ පාර්ලිමේන්තුවේ සම්මත කරන නීතිවලට අමතරව ඉහළ අධිකරණ විසින් ලබා දෙන තීන්දු ද නීතියේ පූර්වාදර්ශ ලෙස අනුගමනය කරයි.
ඒ අනුව, මෙම නඩු තීන්දුව මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් පූර්වාදර්ශයක් ලෙස පවතියි.
රෙඩිට්හි අදහස් දක්වා ඇති තවත් අයෙකු පවසා ඇත්තේ මෙය දැවැන්ත තීන්දුවක් බව ය.
"මේක දැවැන්ත තීන්දුවක්. ශිෂ්‍යයෙකුගේ ජීවිතය කෙරෙහි තමන්ට සම්පූර්ණ පාලනයක් ඇතැයි සිතන කථිකාචාර්යවරුන් සම්බන්ධයෙන් බරපතල ගැටළුවක් තිබෙනවා. ඔබ ඔවුන්ගේ ආත්මාභිමානයට හානි කළහොත්, ඔබේ වැඩේ මොන තරම් හොඳ එකක් වුණත්, සමහරු ඔබව අසමත් කිරීමට පසුබට වෙන්නේ නෑ. ඒක භයානක බලය පිළිබඳ මෙවලමක් වන අතර, සමහරු එය තම පහත් ලිංගික ආශාවන් තෘප්තිමත් කර ගැනීමට පවා භාවිතා කරනවා," එම රෙඩිට් පරිශීලකයා සඳහන් කර තිබේ.
ආචාර්ය සසංක පෙරේරා ද මෙම පුවත බෙදා ගනිමින් ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබේ.
"බොරු කරන ගුරුවරු සම්බන්ධයෙන් මේ තීන්දුවෙන් ප්‍රයෝජන ගත්තොත් හොඳයි. නමුත් මේක හිසරදයක් වෙන්නත් පුලුවන් අනික් රටවලත් යම් දුරකට වෙලා තියෙන විදියට. හැබැයි එහෙම වෙන්නේ, මේ වගේ ඉල්ලීම් හුඟක් වැඩි වෙන්නේ, විශ්වවිද්‍යාල සහ ඒ වගේ අන් ආයතනවල අධීක්ෂණ සහ විමර්ශන ක්‍රියාවලි ගැන තියෙන විශ්වාසය බිඳිලා ගිහිල්ලා නම්," ඔහු සඳහන් කර තිබේ.
මෙහිදී ඔහු පෙන්වා දෙන්නේ වැදගත් කරුණකි.
එනම්, උසස් අධ්‍යාපන ආයතන සම්බන්ධයෙන් අවිශ්වාසයක් සිසුන් තුළ පවතින්නේ නම් මෙවැනි ආකාරයේ ඉල්ලීම් වැඩි විය හැකි බව ය.

ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK | SASANKA PERERA
ඔබට ඔබේ විභාග පිළිතුරු පත්‍රයක් ඉල්ලා සිටිය හැකි ද?
මෙම නඩු තීන්දුවට අනුව උසස් අධ්‍යාපන ආයතනවල විනිවිදභාවය පවත්වා ගැනීම වැදගත් බව සහ, විභාගයෙන් පසුව ලකුණු ලබා දුන් පිළිතුරු පත්‍රය 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉදිරිපත් කරනු ලබන තොරතුරු ඉල්ලීමකින් ලබා ගත හැකි තොරතුරක් බවට තීන්දු කර තිබේ.
ඒ බව සනාථ කිරීමට ආභියායචනාධිකරණය ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දු දෙකක් ද උපුටා දක්වා තිබේ.
ඒ අනුව, ඉදිරියේදී ඔබ තොරතුරු පනත යටතේ තොරතුරු ලබා දීමට බැඳී සිටින පොදු අධිකාරියක් වන උසස් අධ්‍යාපන ආයතනයක විභාගයට පෙනී සිටියේ නම්, එහි ප්‍රතිඵල ලබා දීමෙන් පසුව අවශ්‍ය නම් ඔබේ පිළිතුරු පත්‍රය ඉල්ලා තොරතුරු ඉල්ලීමක් සිදු කළ හැකි ය.
එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමක් සිදු වුවහොත් අදාළ කාල රාමුව තුළදී ඔබට අභියායචන ක්‍රියාවලියට යා හැකි ය.
ඉන්දියාවේ තත්ත්වය කෙසේ ද?
2011 වසරේ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුවක, "විභාග අපේක්ෂකයෙකු විභාගයකට සහභාගී වී පිළිතුරු පත්‍රයක තම පිළිතුරු ලියා එය ඇගයීම සහ ප්‍රතිඵල ප්‍රකාශ කිරීම සඳහා විභාග ආයතනයට ඉදිරිපත් කිරීමෙන් පසුව එය ලේඛනයක් හෝ වාර්තාවක් වන බව," සඳහන් ව ඇතැයි එම අධිකරණ තීන්දුව උපුටා දක්වමින් අභියායචනාධිකරණ තීන්දුවේ උපුටා දක්වා තිබේ.
"විභාග ආයතනය විසින් පත් කරන ලද පරීක්ෂකයෙකු විසින් පිළිතුරු ඇගයීමට ලක් කරන විට, ඇගයීමට ලක් කරන ලද පිළිතුරු පත්‍රය විභාගයට පෙනී සිටි පුද්ගලයාගේ 'අදහස' අඩංගු වාර්තාවක් බවට පත්වන බැවින්, ඇගයීමට ලක් කරන ලද පිළිතුරු පත්‍රය තොරතුරු දැනගැනීමේ පනත යටතේ 'තොරතුරක්' ද වේ,' යැයි එහි සඳහන් ව ඇතැයි අභියායචනාධිකරණය පවසයි.
මේ නිසා තමන් හා සම්බන්ධ පුද්ගලික තොරතුරු, එනම් තමා විසින් පිළිතුරු ලියූ පිළිතුරු පත්‍රය ලබා දීම ප්‍රතික්ෂේප කිරීමට නොහැකි බවට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය 2011 වසරේදී තීන්දු කර තිබේ.

































