ශ්‍රී ලංකාවේ මෑතකදී විශ්‍රාම ගිය පොලිස්පතිවරුන් තිදෙනාට අත්වූ ඉරණම සහ ඔවුන් මුහුණ දුන් සිද්ධි

පූජිත් ජයසුන්දර, සී.ඩී. වික්‍රමරත්න සහ දේශබන්දු තෙන්නකෝන්

ඡායාරූප මූලාශ්‍රය, Facebook / Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පූජිත් ජයසුන්දර, සී.ඩී. වික්‍රමරත්න සහ දේශබන්දු තෙන්නකෝන්
    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 6

ශ්‍රී ලංකාවේ පොලිස්පතිවරුන් පිළිබඳව පසුගිය දින කිහිපය තුළ දැඩි කතාබහක් නිර්මාණය විය.

ආසන්නතම සිද්ධිය වූයේ, ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ 34 වන පොලිස්පතිවරයා වූ පූජිත් ජයසුන්දරට මරණීය දණ්ඩනය නියම වීම ය.

එම සිද්ධියට සති දෙකකට පමණ පෙර 35 වන පොලිස්පතිවරයා වූ සී.ඩී. වික්‍රමරත්න සිය නිවසේදී මියගොස් සිටියදී හමුවිය.

36 වන පොලිස්පතිවරයා වූ දේශබන්දු තෙන්නකෝන් පිළිබඳව ද ආන්දෝලානාත්මක ඉතිහාසයක් ඉතිරි වී තිබේ.

වත්මන් පොලිස්පතිවරයාට පෙර ධූරය දැරූ පොලිස්පතිවරුන් තිදෙනාට මුහුණ දීමට සිදුවූ තත්ත්වයන් පිළිබඳව මෙම ලිපියෙන් ආවර්ජණය කෙරේ.

පූජිත් ජයසුන්දර (2016.04.20 - 2020.03.14)

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ 34 වන පොලිස්පතිවරයා වූ පූජිත් ජයසුන්දර 2016 අප්‍රේල් 20 වන දා සිට 2020 මාර්තු 14 වන දා දක්වා පොලිස්පති ධූරය දැරීය.

ජනාධිපති නිර්දේශයෙන් ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ඇතිව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජිත් ජයසුන්දර පොලිස්පති ධූරයට පත් කරනු ලැබුවේ 2016 අප්‍රේල් 20 වන දා ය.

33 වන පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් විශ්‍රාම යාමෙන් පුරප්පාඩු වූ පොලිස්පති ධූරය සඳහා ව්‍යවස්ථාදායක සභාව වෙත එවකට නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනකුගේ නම් යෝජනා වී තිබිණි.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඒ, එස්.එම්. වික්‍රමසිංහ, පූජිත් ජයසුන්දර සහ මෑතකදී වෙඩි වැදීමකින් මිය ගිය සී.ඩී. වික්‍රමරත්න යන අය ය.

ඉන්, පූජිත් ජයසුන්දර 34 වන පොලිස්පතිවරයා ලෙස තෝරාගනු ලැබිණි.

පූජිත් ජයසුන්දර පොලිස්පති ධූරය දැරූ සමයේ ආන්දෝලනාත්මක සිද්ධි කිහිපයක් වාර්තා විය.

පොලිස් දෙපාර්තමේන්තුවේ විදුලි සෝපාන ක්‍රියාකරුවෙකුට විදුලි සෝපානය අසලදී සාපරාධී බලහත්කාරය පෑම සහ සාපරාධී බිය ගැන්වීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාව ඉන් එකකි.

පසුව ඔහු ඉන් නිදොස් කොට නිදහස් කෙරිණි.

ප්‍රසිද්ධ රැස්වීමක් අමතමින් සිටියදී පැමිණි දුරකතන ඇමතුමකට 'නීතිය නැවීම' සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් හේතුවෙන් ද ඔහු දැඩි කතාබහට ලක්විය.

පසුව, පාස්කු ප්‍රහාරයෙන් දින 8කට පසු, එනම් 2019 අප්‍රේල් 29 වන දා එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නියෝගයක් අනුව ඒ වන විට පොලිස්පතිවරයා වූ පූජිත් ජයසුන්දර අනිවාර්ය නිවාඩු යැවිණි.

මේ අතර, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන ඇතුළු පිරිසකට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ක් ගොනු කෙරුණු අතර එහි තීන්දු 2023 ජනවාරි මස 12 වන දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබී ය.‌

මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට රුපියල් මිලියන 75ක මුදලක් වන්දි වශයෙන් ගෙවීමට නියම විය.

ඒ අනුව, හිටපු පොලිස්පතිවරයා 2024 වසරේදී ඔහු ගෙවිය යුතු වන්දි මුදල ගෙවා අවසන් කර තිබිණි.

මේ අතර, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැරහැරීම, මිනීමැරීම ඇතුළු චෝදනා 850කට අධික ගණනක් බැගින් එල්ල කරමින් නීතිපතිවරයා විසින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අයට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ වෙන වෙන ම නඩු දෙකක් ගොනු කර තිබිණි.

එම නඩු විභාග කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ චෝදනාවලින් පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු නිදොස් කොට නිදහස් කිරීමට 2022 පෙබරවාරි මාසයේදී නියෝග කළේ ය.

නීතිපතිවරයා පවරා තිබුණු මෙම නඩුවෙන් හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර නිදහස් කෙරුණේ විත්තියේ සාක්ෂි කැඳවීමකින් ද තොරව ය.

මහාධිකරණය ලබා දුන් එම තීන්දුව දෝෂසහගත බවත්; එබැවින් පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු නිදොස්කොට නිදහස් කරමින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල දුන් තීන්දුවට එරෙහිව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කළ අතර, ඉන්පසුව මෙම නඩුව නැවත කැඳවිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් ලබා දුන්නේ ය.

එම නඩුව නැවත විභාගයට ගැනීමෙන් පසුව පූජිත් ජයසුන්දරට එරෙහිව පසුගිය සිකුරාදා (ජූලි 31) මරණ දඬුවම නියම කෙරිණි.

සී.ඩී. වික්‍රමරත්න (2020.11.27 - 2023.11.23)

2020 වසරේ නොවැම්බර් මස 27 වන දා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ 35 වන පොලිස්පතිවරයා ලෙස එවකට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සී.ඩී. වික්‍රමරත්න පත් කරනු ලැබී ය.

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ බුද්ධි අංශ නිලධාරියෙකු පොලිස්පති ධූරයට පත් වූ ප්‍රථම අවස්ථාව ද එය විය.

1963 මාර්තු 26 වන දින උපත ලැබූ පොලිස්පති චන්දන දීපාල් වික්‍රමරත්න නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලය, කොළඹ මහානාම විද්‍යාලය හා කොළඹ ආනන්ද විද්‍යාලය යන පාසල්වලින් අධ්‍යාපනය ලැබී ය.

පොලිස් බුද්ධි අංශ නිලධාරියෙකු ලෙස වසර 10කට ආසන්න කාලයක් සේවය කළ ඔහු ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය උත්සන්නව පැවති සමයේ උතුරු සහ නැගෙනහිර පළාත්වල මෙහෙයුම් කටයුතු සඳහා ද සිය දායකත්වය දැක්වීය.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසත්, ඒ සමග ම සබරගමුව පළාතේ වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසත් ඔහු කටයුතු කළේ ය.

පාස්කු ප්‍රහාරයෙන් දින 8කට පසු, එනම් 2019 අප්‍රේල් 29 වන දා එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නියෝගයක් අනුව ඒ වන විට පොලිස්පතිවරයා වූ පූජිත් ජයසුන්දර අනිවාර්ය නිවාඩු යැවීමෙන් පසුව සී.ඩී. වික්‍රමරත්න වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරිණි.

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ වැඩි ම කාලයක් වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ නිලධාරියා වශයෙන් වාර්තා අතරට එක්වූ සී.ඩී. වික්‍රමරත්න, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස අවස්ථා 13කදී වැඩබලන පොලිස්පති ධූරයේ කටයුතු කර තිබිණි.

2020 නොවැම්බර් 27 වන දා ඔහු පොලිස්පතිවරයා ලෙස පත් කරන ලදී.

වසර තුනක කාලයක් පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීමෙන් අනතුරුව සී.ඩී. වික්‍රමරත්න 2023 වසරේ මාර්තු මස 25 වන දා ධූරයෙන් විශ්‍රාම යාමට නියමිතව තිබිණි.

කෙසේ වෙතත්, නව පොලිස්පතිවරයෙකු පත් කෙරෙන තෙක් ඔහුට තවත් මාස 8කට ආසන්න කාලයක් එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ලබා දෙන ලද සේවා දිගුවකට යටත්ව පොලිස්පති ධූරයේ රාජකාරි ආවරණය කිරීමට සිදුවිය.

වැඩබලන පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් පත් කිරීමෙන් අනතුරුව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ධූරයෙන් විශ්‍රාම ගියේ ය.

2026 ජූලි 17 වන දා සිය නිවසේදී මියගොස් සිටියදී ඔහුගේ දේහය හමු විය. මියයන විට ඔහු 63 වන වියේ පසුවිය.

"මාලබේ පොලිස් වසමට අයත් තලාහේන, පරාක්‍රම මාවතේ පිහිටි සිය නිවසේදී සිදුවූ වෙඩි වැදීමකින් තුවාල ලැබූ හිටපු පොලිස්පතිවරයා නැගෙනහිර කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස්" තිබූ බව පොලිසිය නිවේදනය කර තිබිණි.

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස වසර 16කට අධික කාලයක් තමා රාජකාරි කළ බවත්, මෙම කාලය තුළ කිසිදු දිනයක තම පිස්තෝලය හිටපු පොලිස්පතිවරයා තමාගෙන් ඉල්ලා නැති බවත් එහෙත් මියගිය දිනයේ පමණක් පරීක්ෂා කිරීමට බව පවසා තම පිස්තෝලය සහ ඊට යොදන ජීව උණ්ඩ ඉල්ලා සිටි බවත්, හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරිවරයා ලෙස රාජකාරි කළ ප්‍රභූ ආරක්ෂක අංශයේ පොලිස් සැරයන් ඊ.එම්. ප්‍රසන්න අධිකරණය හමුවේ කියා සිටියේ ය.

ඔහු ප්‍රකාශ කළේ, හිටපු පොලිස්පතිවරයා එම පිස්තෝලයෙන් වෙඩි තබා ගත් බව ය.

දේශබන්දු තෙන්නකෝන් (2024.02.29 - 2025.08.07)

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් වැඩබලන පොලිස්පති ධූරයට කරන ලද්දේ 2023 නොවැම්බර් 29 වන දා ය.

2024 පෙබරවාරි 29 වන දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පැවරී තිබුණු බලතල අනුව ඔහු මෙරට 36 වන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු නමුත් 2024 ජූලි 24 දින එම ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට එරෙහිව අතුරු තහනම් නියෝගයක් නිකුත් කෙරිණි.

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් 8 දෙනෙකු අත්අඩංගුවට ගන්නැයි මාතර මහේස්ත්‍රාත් අධිකරණය 2025 පෙබරවාරි 28 වන දා නියෝග කළේ ය.

ඊට වසරකට පමණ පෙර සුදු වෑන් රථයකින් පැමිණි පිරිසක් මාතර වැලිගම ප්‍රදේශයේ හෝටලයකට වෙඩි ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේදී වැලිගම පොලිසියේ නිලධාරීන් එල්ල කළ ප්‍රතිප්‍රහාරයකින් කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්තව රාජකාරී කළ උපුල් කුමාර නමැති සැරයන්වරයාගේ මරණය සම්බන්ධයෙන් පැවැත්වූ මහෙස්ත්‍රාත් පරීක්‍ෂණ අවසානයේ මෙය අපරාධයක් බව තීරණය කළ මහෙස්ත්‍රාත්වරයා සිද්ධියට සම්බන්ධ බව කියන පුද්ගලයින් වහා ම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේ ය.

ඔහු අත්අඩංගුවට ගැනීමට නොහැකි වීමෙන් පසු දුටු තැන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මාතර මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස 2025 මාර්තු 11 වන දා විවෘත වරෙන්තු නිකුත් කළේ ය.

ශ්‍රී ලංකා ඉතිහාසයේ "පළමු වරට" පාර්ලිමේන්තු කමිටුවක් විසින් වරදකරු කරන ලද පොලිස්පතිවරයා බවට දේශබන්දු තෙන්නකෝන් පත් විය.

වැඩ තහනමට ලක්ව සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධූරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනාවක් 2025 අගෝස්තු 05 පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.

පාර්ලිමේන්තු විමර්ශන කමිටුව මගින් දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව විෂමාචාරය සහ ධූරයේ බලතල අනිසි ලෙස භාවිත කිරීම ඇතුළු චෝදනා 23ක් එල්ල කර තිබිණි.

මේ අතර, 2022 වසරේ ගාලු මුවදොර ගෝඨා ගෝ ගම අරගල භූමියේ රැඳී සිටි පිරිසකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇප මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය 2025 අගෝස්තු 27 වන දා නියම කළේ ය.

ඒ අනුව, සැකකාර දේශබන්දු තෙන්නකෝන් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියෝග කළා ය.

2022 වසරේ අරගලය පැවති සමයේ සමාජ ක්‍රියාකාරිකයෙකු වූ අනුරුද්ධ බණ්ඩාර නමැති තරුණයෙකු අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් එවක බස්නාහිර ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් සහ කොළඹ උතුර විශේෂ විමර්ශන ඒකකයේ එවක ස්ථානාධිපති නලින් ශ්‍රියන්ත යන අය අදාළ තරුණයාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය 2026 ජූලි 23 වන දා තීන්දු කළේ ය.