අනවසර සංක්‍රමණිකයන් සිරගත කිරීමට තහනමක්

Man in jail (file image)

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

Published

අනවසර සංක්‍රමණිකයන් යුරෝපා සාමාජික රටකට ඇතුළු වීමෙන් පසු ඒ ඒ රටවල ආරක්ෂක අංශ ඔවුන් රැඳවුම් භාරයේ හෝ සිරගත කොට තබා ගැනීම වැළක්වීමට යුරෝපා අධිකරණය තීන්දුවක් ප්‍රකාශයට පත් කරයි.

රැඳවුම් භාරයට හෝ සිර ගත කිරීම වෙනුවට නීතිවිරෝධීව යුරෝපා කලාපයට ඇතුළු වන සංක්‍රමණිකයන් සියලු දෙනා නැවතත් ඔවුන්ගේ මව් රටට හරවා යැවීමට අදාළ යුරෝපා සාමාජික රටේ ආරක්ෂක අංශ පියවර ගත යුතු බවයි යුරෝපා අධිකරණය පවසන්නේ.

වැඩි දුර අදහස් දක්වන යුරෝපා අධිකරණය කියා සිටියේ වීසා බලපත් සීමා නොමැති ශේන්ගන් කලාපයේ ( Schengen passport-free zone) යුරෝපා සංගම් සාමාජික රටවලට අනවසරයෙන් ඇතුළු වන සියලුම සංක්‍රමණිකයන්ට මෙම නව නීතිය බල පැවැත්වෙන බවයි.

අනවසර සංක්‍රමණිකයන්

කූට ලෙස සැකසු ව්‍යාජ බෙල්ජියන් ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් ගානාවේ පුද්ගලයෙකු අනවසරයෙන් ප්‍රංශ දේශ සීමාව තරණය කිරීමට උත්සාහ කිරීමේදී ප්‍රංශ බලධාරීන් භාරයට පත් වූ අතර මෙම නව නීතිය අඩංගු නඩු තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේ ඔහුට එරෙහි චෝදනා යුරෝපා අධිකරණය ඉදිරියේ විභාග කළ අවස්ථාවේදීයි.

ප්‍රංශ ආරක්ෂක අංශ භාරයට පත් වූ ගානා රාජ්‍යයේ වැසියෙකු වූ මෙම සංක්‍රමණිකයා අනවසරයෙන් රටට ඇතුල්වීමේ චෝදනා යටතේ පොලිස් රැඳවුම් භාරයට පත් කෙරිණ.

යුරෝපා අධිකරණය ඉදිරියේ සිය නඩුව විභාග වන අවස්ථාවේ ඔහු කියා සිටියේ අනවසරයෙන් දේශ සීමා තරණය කිරීමේ වරදට තමන්ව ප්‍රංශ පොලිස් අත්අඩංගුවේ රඳවා තැබීම යුරෝපා සංගම් නීතියට පටහැනි බවයි.

යුරෝපා රෙගුලාසි යටතේ අනවසර සංක්‍රමණිකයන් නැවත හරවා යැවීම සඳහා වගන්තියක් ඇතුළත් වන අතර මෙම නඩු විභාගයේදී යුරෝපා අධිකරණය එම රෙගුලාසිය සැලකිල්ලට ගනිමින් සිය නඩු තීන්දුව ප්‍රකාශයට පත් කොට තිබේ.