ප්‍රේමයෙන් බැඳුණු යුවළක් තමන් සහෝදර සහෝදරියන්දැයි සෙවීමට DNA නීතිය කඩ කළ හැටි

ඡායාරූප මූලාශ්‍රය, Courtesy of Audrey and Arthur Kermalvezen
ශුක්‍රාණු දායකයෙකුගෙන් පිළිසිඳ ගත් ආතර් කර්මල්වසීන්, වසර ගණනාවක් පුරා පැරීසියේ ඔහු යන සෑම තැනක දීම ඔහුගේ පියා විය හැකි යැයි සිතෙන අය දුටුවේ ය. "මම හිතාගත්තා එක්කෝ එයා මගේ ගුරුවරයා වෙන්න ඇති කියලා, නැත්නම් මම බස් එකේදී දැක්ක කෙනෙක් වෙන්න ඇති කියලා...මම ගොඩක් තරහින් හිටියේ, මට මෙහෙම ජිවත් වෙන්න බැහැ කියන එකත් එක්ක"
වැඩිහිටියෙකු ලෙස, ඔහු පැරීසියේ තවත් පරිත්‍යාගශීලියෙකුගෙන් ම පිළිසිඳ ගත් ඕඩ්රි සමග ආදරයෙන් බැඳුණු විට එම ගැටලුව තවත් තීව්ර විය.
ඔවුන් පළමුව හමුවූ අවස්ථාව ඕඩ්රි විස්තර කරන්නේ "පළමු බැල්මෙන් ම ඇති වූ ආදරයක්" ලෙස යි. නමුත් එම බැඳීම ආදර සම්බන්ධතාවක් ද නැතහොත් ජානමය ආකර්ෂණයක් ද?
ඔවුන් උපත ලැබූ කාලය වන විට, පැරීසියේ ශුක්‍රාණු බැංකු දෙකක් පමණක් තිබූ අතර පිරිමි පුද්ගලයින් බොහෝදෙනෙකු [ශුක්‍රාණු] පරිත්‍යාග කිරීම් බොහෝමයක් සිදු කර තිබිණි. එබැවින් ඔවුන් අර්ධ සහෝදර සහෝදරියන් වීමට සැබැවින් ම හැකියාවක් තිබිණි.
එකට එක්වී ජීවිතයක් ගොඩනගා ගැනීමට පෙර, ආතර්ට සහ ඕඩ්‍රිට අවශ්‍ය වූයේ ඔවුන් අතර ඥාති සම්බන්ධයක් තිබුණේදැයි දැන ගැනීමට යි. නමුත් ප්‍රංශය තුළ ජාන පරීක්ෂාව සහ දායකයින්ගේ නිර්ණාමිකත්වය පාලනය කරන නීති හමුවේ ඊට පිළිතුරු සොයා ගැනීම අතිශයින් දුෂ්කර විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ප්‍රංශයේ, ජාන පරීක්ෂණ ඇණවුම් කර අධීක්ෂණය කළ හැක්කේ වෛද්‍යවරුන් හෝ විනිසුරුවන් වැනි ඇතැම් වෘත්තිකයන්ට පමණි. නිවසේ DNA පරීක්ෂා කළ හැකි පරීක්ෂණ කට්ටල මිලදී ගැනීම හෝ ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් පුද්ගලයින්ට යුරෝ 3,500 (ඩොලර් 4,288; පවුම් 3,191) ට වැඩි දඩයක් නියම කළ හැකි බැවින්, 23andMe සහ Ancestry වැනි සමාගම් ඔවුන්ගේ කට්ටල ප්‍රංශයේ විකිණීම සිදු කරන්නේ නැත.
1994 වසරේ සිට ක්‍රියාත්මක වන මෙම නීතියට සහය දක්වන්නන් පවසන්නේ එය වාණිජ සමාගම්වලට සංවේදී ජානමය දත්ත ලබා දීම නවත්වා අනපේක්ෂිත ප්‍රතිඵල නිසා ඇති වන පවුල් ආරවුල් වළක්වන බව යි.
නමුත් ආතර් පෙන්වා දෙන්නේ එවැනි පරීක්ෂණ භාවිතය අපරාධයක් ලෙස සලකන යුරෝපයේ එක ම රට ප්‍රංශය බව යි.
ප්රචාරක කටයුතු නිසා හමුවූ යුවළ

ඡායාරූප මූලාශ්‍රය, Courtesy of Audrey and Arthur Kermalvezen
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ඕඩ්රි වැඩිහිටියෙකු වීමෙන් පසුව ඇගේ මව්පියන් ඇය ශුක්‍රාණු පරිත්‍යාගශීලියෙකුගේ දායකත්වයෙන් පිළිසිඳ ගත් බව අනාවරණ කිරීමට පෙර පවා ඇය ජීව විද්‍යාත්මක ආචාර ධර්ම නීතිය පිළිබඳ විශේෂඥ දැනුම සහිත නීතිඥවරියක් ලෙස සුදුසුකම් ලබා තිබුණා ය. වසර 30කට වැඩි කාලයක් තිස්සේ ක්‍රියාත්මක වන මෙම ප්‍රංශ නීතිය, ශුක්‍රාණු හෝ ඩිම්බ පරිත්‍යාගශීලීන් මිය ගිය පසුව පවා නිර්නාමිකව පවතින බව සහතික කරන බව ඇය තේරුම් ගත්තා ය.
නමුත් ඕඩ්රි පිළිසිඳගෙන තිබුණේ 1979 දී වන අතර ඒ, එවැනි නීති සම්පාදනය වීමට පෙරදී ය.
[ශුක්‍රාණු] දායක පිළිසිඳගැනීමකින්, 1994ට පෙර උපත ලැබූ වෙනත් පුද්ගලයින් සොයමින් සිටියදී ඇයට ආතර් මුණගැසුණි. ඔහුගේ ජීව විද්‍යාත්මක සම්භවයන් ගැන වැඩි විස්තර දැන ගැනීමට ඔහු තුළ වූ ආශාව විස්තර කරන පොතක් ඔහු රචනා කර තිබුණේ ය.
ඕඩ්රි පවසන්නේ ඇයට ප්‍රකාශ කරගැනීමට අසීරු වී තිබූ හැඟීම් ඔහු කොතරම් නිවැරදිව ප්‍රකාශ කර තිබේ ද යන්න පිළිබඳ ඇය විස්මයට පත් වූ බව යි. දෙදෙනාට ම ආදරණීය පවුල් තිබුණත්, ඔවුන්ට උපත දීමට උදව් කළ නාඳුනන පුද්ගලයින් පිළිබඳ මතුවන ප්‍රශ්න වෙත ඔවුන් ඇදී ගොස් සිටින බව දෙදෙනා ම සොයා ගත්හ.
ඔවුන් පෞද්ගලිකව මුණගැසුණු විට ඔවුන්ට ක්ෂණික බැඳීමක් ඇති විය. ගැටලුව ද එයම විය.
ඔවුන්ට ඔවුන්ගේ පියවරුන් පිළිබඳ සත්‍යය දැන ගැනීමේ අවශ්‍යතාව තිබුණු නමුත් බලධාරීහූ කිසිවෙක් ඔවුන්ට එය පැවසීමට කැමති නොවූහ.
සත්‍ය සොයා යාම

ඡායාරූප මූලාශ්‍රය, Courtesy of Audrey Kermalvezen
මාස ගණනක් පුරා සිදු කළ සොයාබැලීම්වලින් අනතුරුව ප්‍රංශයේ දකුණු දිග ප්‍රදේශයෙන් ඔවුහු වෛද්‍යවරයෙකු සොයා ගත් අතර යුරෝ 900ක් (ඩොලර් 1,028; පවුම් 764) මුදල් ගෙවා සිදු කරන ලද ජාන පරීක්ෂණයකදී ඔවුහු ඥාතීන් නොවන බව සොයා ගත්හ. නමුත් ඔවුන්ට ඔහුව විශ්වාස කළ හැකිදැයි විශ්වාසයක් නැත. "ඔහු වංචාකාරයෙක් ද කියන එක ගැන අපි වද වුණා," ඕඩ්රි පවසයි.
ප්‍රතිඵලය තහවුරු කර ගැනීම සඳහා නිවසේදී භාවිත කළ හැකි පරීක්ෂණ කට්ටලයක් භාවිතා කිරීම ගැන ඔවුන් සලකා බැලූ නමුත් නීතිඥවරියක ලෙස ඕඩ්රි අධිෂ්ඨාන කර ගත්තේ නීතියට අනුව කටයුතු කිරීමට යි.
එබැවින් 2010 වසරේ සිට, ඇය ප්‍රංශයේ නීතිමය පද්ධතියට අභියෝග මාලාවක් ඉදිරිපත් කළා ය.
ඇගේ ශුක්‍රාණු දායකයා තවමත් ජීවතුන් අතර සිටී ද සහ එසේ නම් ඔහු තවමත් නිර්නාමීකව සිටීමට කැමැත්තෙන් පසුවන්නේ ද යන්න දැන ගැනීමට ඇයට අවශ්‍ය විය. ඔහු කොපමණ වාර ගණනක් දායක වී තිබේ ද සහ ආතර් ඇගේ අර්ධ සහෝදර සහෝදරියන් අතර සිටිය හැකි ද යන්න පිළිබඳ හඳුනා නොගත් තොරතුරු වෙත ප්රවේශවීමට ඇය හැකියාව තිබේ ද?
ඇගේ සියලු ප්රයත්නයන් අසාර්ථක විය.
2015 වසරේදී, ප්‍රංශයේ ඉහළ ම පරිපාලන අධිකරණය ඇගේ අවසාන අභියාචනය ප්‍රතික්ෂේප කළේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Courtesy of Audrey Kermalvezen
ඔවුන්ගේ පළමු දරුවා බිහිවීමට සුළු කලකට පෙර ඔවුන්ගේ ශුක්‍රාණු දායකයින් පිළිබඳ තොරතුරු තිබිය හැකිදැයි සොයා බැලීමට වෛද්‍යවරයෙක් එකඟ වූයේ ය. ප්‍රංශ නීතිය යටතේ, වෛද්‍ය වෘත්තිකයෙකුට ඔවුන්ගේ රෝගීන් පිළිබඳ මෙවැනි වර්ගයේ තොරතුරු සඳහා පූර්ණ ප්‍රවේශය පවතින නමුත් එය රෝගීන් සමග බෙදා ගැනීමට අවසර හිමි නොවේ.
වෛද්‍යවරයා සොයා ගත්තේ ඔවුන්ගේ ශුක්‍රාණු දායකයින් වෙනස් අවුරුදුවලදී උපත ලබා ඇති බැවින් ඔහු එකම අයෙකු විය නොහැකි බව යි. එය ජීවිතය වෙනස් කරන තොරතුරක් වන නමුත් ඔවුන්ට ඒ තොරතුරු ලබා ගත හැකි වූයේ වෛද්‍යවරයෙකු නීති කඩ කිරීමට එකඟ වූ නිසා පමණි.
"ඒක හරිම අසාමාන්‍ය දෙයක්," ඕඩ්රි පවසයි, "මොකද ඒකෙන් අදහස් කරන්නේ වෛද්‍යවරයාට පුළුවන් දැනගන්න මට වඩා... මං ගැන."
මෙම නව තොරතුරු තිබුණ ද ඔවුන් ඥාති සහෝදරයන් හෝ නෑදෑයන් විය හැකි ද යන්න ගැන ආතර් තවමත් කනස්සල්ලට පත්ව සිටි බැවින්, වසර ගණනාවක් එය නොකර සිටීමට තීරණය කිරීමෙන් පසුව ඔවුහු අවසානයේ නිවසේදී DNA පරීක්ෂණයක් සිදු කළහ.
ජනතාව නිවසේදී ම පරීක්ෂණ සිදු කර ගැනීම නැවැත්වීමට ප්‍රංශ නීතිය ප්‍රමාණවත් යමක් සිදු කර නොමැති බව ක්‍රියාකාරීන් පවසන අතර DNA Pass උපදේශක කණ්ඩායම ඇස්තමේන්තු කරන්නේ ප්‍රංශ වැසියන් මිලියනයකට අධික සංඛ්‍යාවක් ඒවා ලබාගෙන ඇති බවයි. බොහෝදෙනෙකු ඒවා නීත්‍යානුකූලව ලබා ගත හැකි රටවල සිටින මිතුරන් හරහා හෝ අසල්වැසි රටවල ක්‍රියාත්මක භාණ්ඩ ප්‍රවාහන සේවා භාවිතා කිරීමෙන් ඇණවුම් කරති.
පියවරුන් සොයා යාම

ඡායාරූප මූලාශ්‍රය, Courtesy of Audrey Kermalvezen
DNA ප්‍රතිඵල කඩිනමින් තවත් දොරටු රැසක් විවර කළේ ය. වසර 30 ක් පුරා ඔහුගේ පියා කවුරුන් විය හැකිදැයි සිතමින් සිටි ආතර් අවසානයේ 2017 වසරේ නත්තල් දිනයේදී ඔහුගේ ශුක්‍රාණු දායකයා සමග සම්බන්ධ විය.
නමුත් ඕඩ්රි විශාලතම කම්පනයකට මුහුණ දුන්නා ය. ඇගේ DNA ගැලපීම් අතර ඇය උසාවියේදී පෙනී සිට තිබූ සොෆී නමැති කාන්තාවක ද වූවා ය. කාන්තාවන් දෙදෙනා ම සටන් කරමින් සිටියේ සමාන නීතිමය අයිතිවාසිකම් සඳහා ය.
"මම සොයා ගත්තා මම උසාවියේදී නඩුවක් කතා කළ කාන්තාවක් වෙන සොෆී කියන්නේ මගේ ජීවවිද්‍යාත්මක සහෝදරිය වූ බව," ඕඩ්රි පවසයි.
ඕඩ්රි සහ ආතර් ඔවුන්ගේ DNA පරීක්ෂණය සිදු කර ගෙන තිබුණේ ඔවුන්ගේ සම්භවය දැන ගැනීම සඳහා ප්‍රවේශය ඉල්ලා සිටින, ශුක්‍රාණු දායකයින්ගෙන් පිළිසිඳගත් තවත් ක්‍රියාකාරීන් අට දෙනෙකු සමග ය. පුද්ගලයින් 10 දෙනාගෙන් හතර දෙනෙකුට එක ම පරිත්‍යාගශීලියෙකු සිටින බව සොයා ගන්නා ලදී. ඒ, ඕඩ්රි, ඇගේ සහෝදරයා වන පීටර්, සොෆී සහ සොෆීගේ සහෝදරයා වන ඩේවිඩ් සඳහා ය. මෙයින් පෙන්නුම් කළේ මිනිසුන් නොදැනුවත්වම එකම පරිත්‍යාගශීලියා බෙදා ගැනීමේ අවදානම ඉතා සැබෑ එකක් බව යි.
මැනිය නොහැකි තෑග්ගක්

ඡායාරූප මූලාශ්‍රය, Courtesy of Audrey and Arthur
වසර ගණනාවකට පසු ඇමරිකානුවෙකු සමග සිදුවූ ජානමය ගැළපීමක්, අවසානයේදී ඕඩ්රි ඇගේ දායකයා වූ පිලිප් නමැත්තෙකු වෙත යොමු කළ නමුත් ඔහු ඒ වන විටත් මිය ගොස් සිටියේ ය.
ඔවුන්ට ස්තූති කරමින් ඕඩ්රිගේ මව පිලිප්ගේ පවුල වෙත ලිපියක් යොමු කළ අතර ඇය එය විස්තර කළේ ඔහු දුන් "වටිනාකම මැනිය නොහැකි" "ත්‍යාගයක්" ලෙසයි.
ඔහුගේ පවුලේ සාමාජිකයින් ඕඩ්රිගේ පැමිණීම පිළිගත්තේ ය. "හැමෝගෙම ඇස්වල කඳුළු තිබුණා," ඕඩ්රි සිහිපත් කරයි. ඔහුගේ සහෝදරිය ඔහු ශුක්‍රාණු පරිත්‍යාගශීලියෙකු බව කිසිදා දැන සිටියේ නැත.
මෙම සොයාගැනීම ඕඩ්රි දශක ගණනාවක් පුරා සෙවූ දෙයට පැනයකට පිළිතුරු දී ඇත. ඇය ඇගේ ජීව විද්‍යාත්මක පවුලේ සෞඛ්‍යමය තොරතුරු පිළිබඳ ඉතිහාසය සොයා බැලුවා ය. ඇය පිලිප්ගේ ඡායාරූප සහ පැරණි වීඩියෝ දර්ශන දුටුවා ය. "මට ඔහුව බලන්න, ඔහු හිටපු විධිය සහ ඔහුගේ හඬ අහන්න පුළුවන්."
ඕඩ්රිගේ නීතිමය ව්‍යාපාරය සහ ආතර්ගේ පොත යන දෙකෙහි ම එකතුව ප්‍රංශයේ ශුක්‍රාණු දායක පිළිසිඳ ගැනීම් සඳහා පවතින නීතිවලට වෙනස්කම් ගෙන ඒමට උපකාරී වූ අතර, 2025 අප්‍රේල් මාසයෙන් පසු පිළිසිඳ ගත් පුද්ගලයින්ට ඔවුන් වැඩිහිටියන් බවට පත්වීමෙන් අනතුරුව ඔවුන්ගේ දායකයින් හඳුනාගැනීමේ තොරතුරු වෙත ප්‍රවේශ වීමට එමගින් ඉඩ සලසයි.
කෙසේ වෙතත් දැනට ප්‍රංශය යනු යුරෝපයේ තිබෙන නිවසේදී DNA පරීක්ෂාව තවමත් තහනම් කර ඇති රටවල් කිහිපයෙන් එකකි.
එයින් අදහස් වන්නේ ඕඩ්‍රිට තවමත් පුළුල් සටනක් අඛණ්ඩව පවතින බව යි.
"සෑම පුද්ගලයෙකුට ම තමන්ගේ සම්භවය දැන ගැනීමට අයිතියක් තියෙනවා, ඔවුන්ගේ ඉතිහාසය දැන ගැනීමටත් අයිතියක් තිබෙනවා," ඇය පවසයි.
බීබීසී රේඩියෝ 4හි 'ද ගිෆ්ට්'හි කථාංගයක් මත පදනම්ව සකස් කළ ලිපියකි.

































