සුනඛයින් ගැන යෝජිත අලුත් නීති මොනවා ද? පනත් කෙටුම්පතේ ඇතුළත් කරුණු සහ 'අපැහැදිලි තැන්'

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 8
ජලභීතිකාව තුරන් කිරීමේ සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත රජය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ.
'සුනඛයන් එන්නත් කිරීම, සුනඛ ගහනය පාලනය කිරීම සහ සුනඛයන් වාණිජ අරමුණු සඳහා අභිජනනය කිරීම නියාමනය කිරීම මගින් ශ්‍රී ලංකාව තුළ ජලභීතිකා රෝගය තුරන් කිරීම සඳහා ද; සුනඛයන් ලියාපදිංචි කිරීම සඳහා ද; ජලභීතිකා රෝගය තුරන් කිරීමේ ජාතික උපදේශක කමිටුව සහ ජලභීතිකා රෝගය තුරන් කිරීමේ ප්‍රාදේශීය උපදේශක කමිටු පිහිටුවීම සඳහා ද; (476 වන අධිකාරය වූ) ජලභීතිකා රෝගය පිළිබඳ ආඥා පනත සහ (477 වන අධිකාරය වූ) බල්ලන් ලියාපදිංචි කිරීමේ ආඥා පනත ඉවත් කිරීම සඳහා ද; ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනතකි,' යනුවෙන් පනත් කෙටුම්පතෙහි දක්වා ඇත.
සුනඛයෙකු ලියාපදිංචි කරන්නේ කොහොම ද?
තම පරිපාලන සීමාවන් තුළ සිටින සෑම සුනඛයෙකු ම වාර්ෂිකව, ජලභීතිකා රෝගයට එරෙහිව එන්නත් කර තිබෙන බවට සහ අදාළ පළාත් පාලන ආයතනයේ ලියාපදිංචි කර තිබෙන බවට සහතික කිරීම සෑම පළාත් පාලන ආයතනයක ම කාර්යය විය යුතු බව පනත් කෙටුම්පතෙහි දැක්වේ.
එමෙන් ම, වයස සති හයකට වැඩි සුනඛයෙකුගේ අයිතිකරුවන් හෝ එවැනි සුනඛයෙකු සිය භාරයේ තබා ගන්නා තැනැත්තන් එම සුනඛයා වාර්ෂිකව ජලභීතිකා රෝගයට එරෙහිව එන්නත් කිරීමට සහ වාර්ෂිකව අදාළ පළාත් පාලන ආයතනයේ ලියාපදිංචි කිරීමට කටයුතු කළ යුතු ය.
මේ අතර, වීදි සුනඛයෙකුගේ ශුභසාධනය සඳහා වගකීම ගනු ලබන යම් තැනැත්තෙකු සුනඛයා වාර්ෂිකව ජලභීතිකා රෝගයට එරෙහිව එන්නත් කිරීමට සහ ලියාපදිංචි කිරීමට මෙම පනතින් බලය ලබා දීමට යෝජනා කර තිබේ.
සුනඛයන් ජලභීතිකා රෝගයට එරෙහිව එන්නත් කිරීම පශු වෛද්‍යවරයෙකු හෝ පශු වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ කළ යුතු බව ද මින් නියම කර ඇත.
සුනඛයාට ලියාපදංචි අංකයක් සහ සහතිකයක්
සුනඛයා එන්නත් කිරීමෙන් පසුව අදාළ සහතිකය සුනඛයාගේ අයිතිකරු හෝ භාරකරු විසින් නියම කරන ලද ගාස්තුව ගෙවීමෙන් අනතුරුව පළාත් පාලන ආයතනයේ ලියාපදිංචි කළ යුතු ය.
සුනඛයෙකු ලියාපදිංචි කිරීමෙන් පසුව, පළාත් පාලන ආයතනය විසින් ඒ සුනඛයා සඳහා ලියාපදිංචි අංකයක් සහ ලියාපදිංචි කිරීමේ සහතිකයක් සුනඛයාගේ අයිතිකරු හෝ සුනඛයා සිය භාරයේ තබා ගන්නා තැනැත්තා වෙත නිකුත් කළ යුතු වේ.
අයිතිකරුවෙකු හෝ භාරකරුවෙකු නොමැති වූ අයාලේ යන සුනඛයෙකු සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය ද මෙම පනත් කෙටුම්පතින් යෝජනා කර ඇති අතර, එහිදී පළාත් පාලන ආයතනය විසින් එම සුනඛයා ජලභීතිකා රෝගයට එරෙහිව එන්නත් කරනු ලැබිය යුතු අතර එකී සුනඛයා පැහැදිලිව හඳුනා ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට පනත් කෙටුම්පතින් යෝජනා කර ඇත.
ලියාපදිංචි නොකළොත් රුපියල් 2000ක දඩයක්
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
සෑම සුනඛ අයිතිකරුවෙකු ම හෝ සුනඛයෙකු සිය භාරයේ තබා ගන්නා වෙනත් තැනැත්තෙකු විසින් යම් බලයලත් නිලධරයෙකු විසින් නියම කරනු ලබන අවස්ථාවකදී, ඒ සුනඛයා සම්බන්ධයෙන් නිකුත් කර ඇති වලංගු එන්නත් කිරීමේ සහතිකය සහ ලියාපදිංචි සහතිකය ඉදිරිපත් කළ යුතු ය.
එසේ වලංගු එන්නත් සහතිකයක් හෝ ලියාපදිංචි සහතිකයක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වන අවස්ථාවකදී බලය ලත් නිලධරයා විසින් නිකුත් කරනු ලබන දැන්වීමක් මගින් සුනඛයා ජලභීතිකා රෝගයට එරෙහිව එන්නත් කර අදාළ පළාත් පාලන ආයතනයේ ලියාපදිංචි කිරීම සඳහා දින 14ක කාලසීමාවක් ලබා දිය යුතු බව පනත් කෙටුම්පතේ දැක්වේ.
'බලයලත් නිලධරයාට පිළිගත හැකි සාධාරණ හේතුවක් මත, (2) වන උපවගන්තිය යටතේ නියම කරන ලද පරිදි දින දහ හතරක් ඇතුළත එකී සුනඛයාට අදාළව එන්නත් කිරීමේ සහතිකයක් සහ ලියාපදිංචි කිරීමේ සහතිකයක් ලබා ගැනීමට එකී උපවගන්තියේ සඳහන් කරන ලද එවැනි යම් අයිතිකරුවෙකු හෝ වෙනත් යම් තැනැත්තෙකු අපොහොසත් වන අවස්ථාවකදී, බලයලත් නිලධරයා විසින් ඒ කාල සීමාව තවත් දින දහහතරකින් දීර්ඝ කරනු ලැබිය හැකි ය.'
එලෙස දක්වා ඇති නිශ්චිත කාල සීමවේදී සුනඛයා එන්නත් කර ලියාපදිංචි කිරීමට අපොහොසත් වුවහොත් රුපියල් 2000ක දඩ මුදලකට සුනඛයාගේ අයිතිකරු හෝ භාරකරු යටත් වන බව ද පනත් කෙටුම්පතේ සඳහන් කර තිබේ.
'(2) වන උපවගන්තිය යටතේ දැන්වීමක් නිකුත් කරන ලද්දේ කවර තැනැත්තකු වෙත ද එම තැනැත්තා නිශ්චිතව දක්වන ලද කාල සීමාවන් ඇතුළත සුනඛයා එන්නත් කිරීමට හෝ ලියාපදිංචි කිරීමට අපොහොසත් වන්නේ නම්, 5 වන වගන්තිය යටතේ පළාත් පාලන ආයතනය වෙත ගෙවිය යුතු ලියාපදිංචි කිරීමේ ගාස්තුවට අමතරව රුපියල් දෙදහසක දඩ මුදලක් ගෙවීමට යටත් විය යුතු අතර, පළාත් පාලන ආයතනය විසින් එකී සුනඛයා එන්නත් කර, වහා ම 8 වන වගන්තියේ සඳහන් කරනු ලබන සුනඛයන්ගේ රෙජිස්ටරයේ ලියාපදිංචි කිරීමට අවශ්‍ය පියවර ගනු ලැබිය යුතු ය.'
ජලභීතිකාව තුරන් කිරීමේ සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත මගින් යෝජනා කර ඇති පරිදි සෑම පළාත් පාලන ආයතනයක් ම අදාළ බල ප්‍රදේශයේ සුනඛගහනය සම්බන්ධයෙන් ''සුනඛයන්ගේ රෙජිස්ටරය" යනුවෙන් හඳුන්වනු ලබන රෙජිස්ටරයක් පවත්වා ගත යුතු ය.
සුනඛයාගේ අයිතිකරු මාරු වුණොත්?
සුනඛයෙකුගේ අයිතිකරු හෝ භාරයේ තබා ගන්නා තැනැත්තා විකිණීමෙන් හෝ තෑගි දීමෙන් හෝ වෙනත් යම් ආකාරයකින් යම් සුනඛයෙකුගේ අයිතිය වෙනත් යම් තැනැත්තෙකු වෙත මාරු කරනු ලබන අවස්ථාවකදී, එකී සුනඛයා එම වර්ෂය සඳහා ලියාපදිංචි කර ඇත්නම් නව අයිතිකරු එම වසර සඳහා නැවත ලියාපදිංචි කිරීම අවශ්‍ය නොවේ.
එහෙත්, පෙර අයිතිකරු විසින් එකී විකිණීම හෝ තෑගි දීම සම්බන්ධයෙන් කරන ලද පිටසන් කිරීමක් දරන්නා වූ එකී සුනඛයාට අදාළව නිකුත් කර ඇති ලියාපදිංචි කිරීමේ සහතිකය එකී සුනඛයාගේ නව අයිතිකරු විසින් සිය සන්තකයේ තබා ගත යුතු ය.
සුනඛගහනය පාලනයට පළාත් පාලන ආයතන ගත යුතු පියවර
සුනඛගහනය පාලනය කිරීම සඳහා පළාත් පාලන ආයතන ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද ජලභීතිකාව තුරන් කිරීමේ සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පතේ සඳහන් කර ඇත.
ඒ අනුව සෑම පළාත් පාලන ආයතනයක් ම සිය බල ප්‍රදේශයේ සිටින අයාලේ යන සියලු සුනඛයන් අවස්ථාවෝචිත පරිදි වන්ධ්‍යකරණය කිරීමට හෝ පුමංගහරණය කිරීමට කටයුතු කළ යුතු වේ.
සුනඛයෙකු වන්ධ්‍යකරණය කිරීමෙන් හෝ පුමංගහරණය කිරීමෙන් පසුව, පළාත් පාලන ආයතනය අනවශ්‍ය ලෙස නැවත අල්ලා ගැනීමෙන් සහ වන්ධ්‍යකරණය කිරීමෙන් හෝ පුමංගහරණය කිරීමෙන් වැළැක්වීමේ කාර්යය සඳහා එකී සුනඛයාව හඳුනා ගැනීමට අවශ්‍ය පියවර ගත යුතු ය.
එසේ වන්ධ්‍යකරණය කරනු ලැබීමෙන් හෝ පුමංගහරණය කරනු ලැබීමෙන් පසුව සම්පූර්ණයෙන් ම යථා තත්ත්වයට පත් වන තෙක් ඒ සුනඛයාගේ සෞඛ්‍ය තත්ත්වය කෙරෙහි නිසි අවධානය යොමු කර ඒ සුනඛයා රැකබලා ගැනීම සහ යථා තත්ත්වයට පත්වීමෙන් පසුව ඒ සුනඛයාව අල්ලා ගත් ස්ථානයට ම මුදා හැරීම පළාත් පාලන ආයතනයේ වගකීමකි.
සුනඛයෙකු වන්ධ්‍යකරණය කිරීමෙන් හෝ පුමංගහරණය කිරීමට යම් රාජ්‍ය හෝ රාජ්‍ය නොවන සංවිධානයකින් සහය ලබා ගැනීමට මෙම පනතින් බලය ලබා දී තිබේ.
සුනඛ අභිජනන මධ්‍යස්ථාන ලියාපදිංචිය
සුනඛ අභිජනන මධ්‍යස්ථාන සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ බලය ද පළාත් පාලන ආයතන සඳහා නියම කර ඇත.
"යම් සුනඛ අභිජනන මධ්‍යස්ථානයක් පිහිටා ඇති අදාළ පළාත් පාලන ආයතනය විසින් ප්‍රදානය කරන ලද බලපත්‍රයක අධිකාරය යටතේ හැර, කිසිදු තැනැත්තෙකු විසින් සුනඛයන්ගේ පැටවුන් විකිණීමේ කාර්ය සඳහා එවැනි අභිජනන මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යනු නොලැබිය යුතු ය."
සුනඛ අභිජනන මධ්‍යස්ථානයක් ලියාපදිංචිය සඳහා අයැදුම්පතක් ලැබුණ අවස්ථාවකදී පළාත් පාලන ආයතනය විසින් යෝජිත අභිජනන මධ්‍යස්ථානයට අදාළව පශු වෛද්‍යවරයෙකු හෝ එකී පළාත් පාලන ආයතනය විසින් තත්කාර්යය සඳහා බලය පවරන ලද යම් නිලධරයෙකු පරීක්ෂණයක් පවත්වා එම වාර්තාව පළාත් පාලන ආයතනය වෙත ලබා දිය යුතු වේ.
එම වාර්තාව සලකා බලා පළාත් පාලන ආයතනය විසින් අදාළ බලපත්‍රය ලබා දීම සම්බන්ධයෙන් තීන්දු කරනු ලබන අතර බලපත්‍රය ප්‍රතික්ෂේප කරනු ලබන අවස්ථාවකදී දින දාහතරක් පසු නොවන කාලසීමාවක් ඇතුළත අයදුම්කරුහට ඒ බව දැනුම් දිය යුතු බව පනත් කෙටුම්පතෙහි දක්වා ඇත.
තව ද, අභිජනන මධ්‍යස්ථානය පවත්වා ගෙන යා යුතු ආකාරය සහ යම් සුනඛයෙකු මිය ගිය විට ඒ බව පළාත් පාලන ආයතන වෙත වහා ම දැන්වීමට පනත් කෙටුම්පත මගින් නියම කර තිබේ.
පනතේ සඳහන් විධිවිධාන උල්ලංඝනය කරනු ලබන අභිජනන මධ්‍යස්ථානයක බලපත්‍ර දරන තැනැත්තෙකු වරදක් කරනු ලබන අතර, මහෙස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ පවත්වනු ලබන ලඝු නඩු විභාගයකින් වරදකරු කිරීමෙන් අනතුරුව, රුපියල් දස දහස නොඉක්මවන දඩයකට හෝ මාස දෙකක් නොඉක්මවන කාල සීමාවක් සඳහා වන සිර දඬුවමකට හෝ එම දඩය සහ සිර දඬුවම යන දෙකට ම යටත් කිරීමට පනත් කෙටුම්පතින් යෝජනා කරයි.
ජලභීතිකාව පාලනයට ගත යුතු පියවර මොනවා ද?
ජලභීතිකා රෝගය පැතිර යාම පාලනය කිරීමට ගත යුතු පියවර ද මෙම පනත් කෙටුම්පතේ සඳහන් වේ.
"මේ පනතේ කිසිදු විධි විධානයක් නොතකා, යම් පළාත් පාලන ආයතනයක පරිපාලන සීමාවන් ඇතුළත ජලභීතිකා රෝගය පවතින අවස්ථාවකදී හෝ ජලභීතිකා රෝග අවදානමක් පවතින අවස්ථාවකදී, එකී පළාත් පාලන ආයතනය විසින්, ප්‍රසිද්ධ ස්ථානවල ඇලවිය යුතු ලිඛිත දැන්වීමක් මගින් හෝ ප්‍රදේශය තුළ පුළුල් ලෙස ප්‍රචාරය කිරීමෙන් හෝ වෙනත් යම් ආකාරයකින්, අවස්ථාවෝචිත පරිදි, ගම්මාන එකක් හෝ වැඩි ගණනක් ඇතුළුව එහි සීමාවන් තුළ සමන්විත වන සම්පූර්ණ ප්‍රදේශය හෝ එහි යම් කොටසක්, ජලභීතිකා රෝගය පවතින හෝ ජලභීතිකා රෝග අවදානමක් පවතින ප්‍රදේශයක් වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබිය යුතු ය."
එසේ ම, පොදු ස්ථානයක හෝ මාර්ගයක හෝ පළාත් පාලන ආයතනයේ සීමාවන් ඇතුළත පිහිටි පෞද්ගලික ගොඩනැගිල්ලක්, මිදුලක් හෝ ගෙවත්තක් නොවන යම් ස්ථානයක සිටියදී සොයා ගනු ලබන බැඳ දමා නොමැති හෝ මෙහෙයවීමකින් තොර යම් සුනඛයෙකු, ජලභීතිකා රෝගය අසාදනය වී ඇති බවට විශ්වාස කිරීමට සාධාරණ හේතු ඇති අවස්ථාවකදී, බලය ලබා දී ඇති නිලධරයෙකුගේ නිරීක්ෂණය සඳහා රඳවා තබා ගනු ලැබීමට යටත් විය යුතු වේ.
එම කාර්ය සඳහා පළාත් පාලන ආයතන විසින් සුදුසු රඳවා ගැනීමේ මධ්‍යස්ථාන සහ නිරීක්ෂණ මැදිරි සපයා දී පවත්වාගෙන යාම කළ යුතු ය.
තවද, පළාත් පාලන ආයතනයක බල ප්‍ර දේශයක පශු සම්පත් සඳහා ඇති කරන සතෙකුට හෝ වන සතෙකුට ජලභීතිකාව ආසාදනය වී ඇති බවට හඳුනාගත් විට අදාළ ප්‍ර දේශයේ වෙනත් සතුන්ට රෝගය බෝ වීමට නතර කිරීමට අවශ්‍ය පරිපාලනමය පියවර හෝ ආරක්ෂාකාරී පියවර ගැනීම අවශ්‍ය ක්‍රියාමාර්ග ද මෙම පනතින් යෝජනා කර ඇත.
ජලභීතිකාව තුරන් කිරීමේ උපදේශක කමිටු
ජලභීතිකාව තුරන් කිරීමේ ජාතික උපදේශක කමිටුව සහ ජලභීතිකාව තුරන් කිරීමේ ප්‍රදේශීය උපදේශක කමිටුවේ සංයුතිය මෙන් ම ඊට අදාළ වගකීම් ද ජලභීතිකාව තුරන් කිරීමේ සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පතේ සඳහන් වේ.
එමෙන් ම, පනතේ සඳහන් කරුණු ඉටු කිරීමට පළාත් පාලන ආයතනය බලයලත් නිලධාරීන් පත් කළ යුතු ය.
පශූ වෛද්‍ය නිලධාරියෙකු හෝ වෙනත් නිලධාරියෙකු ඒ සඳහා පත් කළ යුතු අතර පොලිස් නිලධාරියෙකු සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියෙකු බලයත් නිලධාරියෙකු විය යුතු බවත් පනත් කෙටුම්පතෙහි සඳහන් කර තිබේ.
අදාළ බලයත් නිලධාරියා සතු බලතල සම්බන්ධයෙන් ද පනත් කෙටුම්පතෙහි සඳහන් වේ.
රාජසන්තක කිරීම සහ වියදම් ප්‍රතිපූරණය කිරීම
මෙම පනතේ සඳහන් වැරදි සංඥය වැරදි විය යුතු බව පනත් කෙටුම්පතෙහි දැක්වේ.
එම වරදකට මහේස්ත්‍රාත්වරයෙකු වරදකරුවෙකු කරනු ලැබීමෙන් පසුව පනවනු ලබන දඬුවමකට අමතරව සුනඛයා රාජසන්තක කිරීමට, වරද කිරීමට භාවිත කළ ආයුධ, උපකරණ හෝ වාහන රාජසන්තක කිරීමට මෙන් ම සුනඛයෙකු තබන ලද්දේ යම් තැනැත්තෙකු හෝ ආයතනයක් භාරයේ නම් උපචිත වූ වියදම් ප්‍රතිපූර්ණය කිරීමට ආඥාවක් නිකුත් කිරීමට හැකියාව පවතී.
තව ද, මහේස්ත්‍රාත් ආඥාවක් යටතේ සුනඛයෙකු රැකවරණය යටතේ තබා ගැනීම, සුනඛයන් නිරෝධායනය කිරීම මෙන් ම සුනඛයන් ආනයනකරුවන්ගේ කාර්යය පිළිබඳව ද පනත් කෙටුම්පතේ කරුණු දැක්වේ.
'ක්‍රියාත්මක කළොත් හොඳ පනතක්'
රජය කෙටුම්පත් කර තිබෙන ජලභීතිකාව තුරන් කිරීමේ සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ පනත "ක්‍රියාත්මක කළොත් හොඳ පනතක්" බව සත්ව අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරිනියක වන රෙයාර් ශ්‍රී ලංකා සංවිධානයේ සභාපතිනි පංචාලි පනාපිටිය බීබීසී සිංහල සේවය සමග අදහස් පළ කරමින් කියා සිටියා ය.
තව ද, සුනඛයන් ලියාපදිංචි කිරීමට ද සාධාරණ මුදලක් අය කළ යුතු බව ද ඇය පැවසුවා ය.
"අපි මේ පනත අගය කරනවා ජලභීතිකා එන්නත්කරණය රජය අරන් තියෙනවා පාරේ ඉන්න බල්ලන්ට. ඒ එක්ක ම ගෙවල්වල තියාගෙන ඉන්න බල්ලන්ට අනිවාර්ය කරලා තියෙනවා. මේක මේ විදියට ම ක්‍රියාත්මක කළොත් ඉතා හොඳ යි."
'වන්ධ්‍යකරණයට අවශ්‍ය සල්ලි පළාත් පාලන ආයතනවලට දෙන්න ඕනේ'
අයාලේ යන සුනඛයන් වන්ධ්‍යකරණය කිරීම පළාත් පාලන ආයතනවලට අනිවාර්ය කිරීමෙන් සුනඛගහනය පාලනය වන බවත්, කෙසේ වෙතත් ඒ සඳහා රජය පළාත් පාලන ආයතන වෙත අවශ්‍ය ප්‍රතිපාදන ලබා දිය යුතු බව ද පංචාලි පනාපිටිය කියා සිටියා ය.
"වන්ධ්‍යකරණය අනිවාර්ය කරලා තියෙනවා. ඒක ඉතා ම හොඳ යි. 2026 අවුරුද්දට හදපු බජට් එකේ කිසි ම මුදලක් වෙන් කරලා නැහැ වන්ධ්‍යකරණයට. ඉතින් ඕක නාමිකව පනතට දැම්මාට වැඩක් නැහැ, පළාත් පාලන ආයතන වන්ධ්‍යකරණය කළ යුතු යි කියලා, එයාලට අවශ්‍ය සල්ලි දෙන්නේ නැතිනම්."
2025 වසරේ අයවැයෙන් වන්ධ්‍යකරණයට වෙන් කර තිබූ ප්‍රතිපාදන ද නිසි ලෙස භාවිතයට නොගත් බවට ද සත්ව අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරිනිය චෝදනා කළා ය.
"රජය නොවන සංවිධාන හැටියට වන්ධ්‍යකරණය කරන්න තියෙන ශක්තිය අඩු යි. මොක ද ලංකාවේ ගහනය පාලනය කරන්න අවුරුද්දකට වන්ධ්‍යකරණ ලක්ෂ පහක්වත් වෙන්න ඕනේ. නමුත් ලක්ෂයකට එහා වෙලා තියෙන අවුරුද්දක් නැහැ."
'බඩගිනි නිව්වා කියලා ඒ සතාගේ 100%ක් වගකීම ගන්න කියන එක ඉතා ම වැරදි යි'
පනත් කෙටුම් පතේ සඳහන් පරිදි අයාලේ යන සුනඛයන් ලියාපදිංචි කිරීමේ වගකීම එවැනි සුනඛයෙකුගේ ශුභසාධනය සම්බන්ධව ක්‍රියාත්මක වන පුද්ගලයන් දැරිය යුතු බවට එක් වගන්තියක සඳහන් වන බව ඇය කියා සිටියා ය.
එමෙන් ම, තවත් වගන්තියකින් අයාලේ යන සුනඛයන්ගේ වගකීම පළාත් පාලන ආයතන වෙත පවරා ඇති බවත්, එම වගන්ති අනුව අයාලේ යන සුනඛයන්ගේ වගකීම සම්බන්ධව යම් අපහැදිලිතාවක් පවතින බවත් පංචාලි පනාපිටිය සඳහන් කළා ය.
"ලංකාවේ එක බල්ලෙක්ට කන්න දෙනවා ගෙවල් කීපයකින්. ඒ සතාගේ බඩගිනි නිව්වා කියලා ඒ සතාගේ සීයට සීයක් වගකීම ගන්න කියන එක ඉතා ම වැරදි යි. එහෙම එකක් සීයට සීයක් මේ පනතින් කියවෙන්නේ නැහැ. හැබැයි එතන පොඩි අපහැදිලි තත්ත්වයක් තියෙනවා. ඒක අපි පැහැදිලි කර ගන්න ඕනේ."

































