ඇමෙරිකාවේ සුවිශේෂී අගැයීමකට ලක්වූ ශ්රී ලංකා නාවික හමුදා නිලධාරිනිය

ඡායාරූප මූලාශ්රය, U.S. Embassy in Sri Lanka
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 4
ශ්රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරියකට ඇමෙරිකා එක්සත් ජනපදයේ සුවිශේෂී අගැයීමක් හිමිව තිබේ.
ඒ, ලුතිනන් කමාන්ඩර් පියුමි කත්රිආරච්චි වෙත ය.
ඇය කැලිෆෝනියාවේ මොන්ටෙරේහි පිහිටි එක්සත් ජනපද නාවික හමුදා පශ්චාත් උපාධි අධ්යයන ආයතනයෙන් (NPS) සිය කණ්ඩායමේ ඉහළ ම දක්ෂතා දැක්වූ සිසුන් අතරට එක්වෙමින් ඇයගේ ශාස්ත්රපති උපාධිය ලබාගෙන තිබේ.
'ස්වෝර්ඩ් ඔෆ් ඔනර්' සම්මානයේ සිට විශිෂ්ටතම විදේශීය ශිෂ්යාව දක්වා
හොරණ තක්ෂිලා මධ්ය විද්යාලයෙන් අධ්යාපනය ලබා ඇති ලුතිනන් කමාන්ඩර් පියුමි කත්රිආරච්චි, 2013 වසරේදී ශ්රී ලංකා නාවික හමුදාවේ 'Sword of Honour' සම්මානය හිමි කර ගැනීමට සමත්ව තිබේ.
එම කීර්තිමත් සම්මානය හිමි කර ගත් පළමු කාන්තා මිඩ්ෂිප්මන්වරිය බවට පත්වෙමින් ඇය වාර්තාවක් පිහිටුවා ඇත.
ඇය ආරක්ෂක සැපයුම් කළමනාකරණ පශ්චාත් උපාධිය විශිෂ්ට සාමාර්ථ සහිතව සම්පූර්ණ කර ඇති අතර, 3.98ක ශ්රේණි ලකුණු සංඛ්යාවක් ලබාගෙන තිබේ. එය පරිපූර්ණ ලකුණු මට්ටමට ආසන්න ජයග්රහණයකි.
ඇය NPS විශිෂ්ට නිබන්ධනයට හිමි සම්මානය (NPS Outstanding Thesis Award) මෙන් ම, මොන්ටෙරේහි කිවානිස් සමාජය (Kiwanis Club of Monterey) විසින් සෑම වසරක ම NPSහි ජාත්යන්තර සිසුන් දෙදෙනෙකුට පමණක් පිරිනමනු ලබන 'විශිෂ්ට ජාත්යන්තර ශිෂ්ය සම්මානය' ද හිමි කර ගත්තා ය.

ඡායාරූප මූලාශ්රය, U.S. Embassy in Sri Lanka
හමුදා හා ආරක්ෂක ක්ෂේත්රයේ වෘත්තිකයන් නායකත්ව භූමිකා සඳහා සූදානම් කිරීම මෙම පශ්චාත් උපාධි අධ්යයන ආයතනයේ අරමුණ යි.
ඇයගේ අධ්යයන කටයුතු සඳහා අරමුදල් සපයන ලද්දේ, එක්සත් ජනපද ජාත්යන්තර හමුදා අධ්යාපන හා පුහුණු වැඩසටහන මගිනි.
මෙම වැඩසටහන ශ්රී ලංකා හමුදා නිලධාරීන්ට තම සේවාවන් ශක්තිමත් කිරීමටත්, එක්සත් ජනපදය සහ ශ්රී ලංකාව අතර ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීමටත් උපකාරී වන දැනුම, කුසලතා සහ විශේෂඥ දැනුම ලබා ගැනීමට සහය වන බව එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් නිකුත් කළ නිවේදනයක දැක්වේ.
ශ්රී ලංකා නාවික හමුදාව මුහුණ දෙන අමතර කොටස් ප්රසම්පාදනයේ අභියෝග පිළිබඳව ලුතිනන් කමාන්ඩර් කත්රිආරච්චි සිදු කළ සම්මානලාභී පර්යේෂණය මගින්, එක්සත් ජනපද හමුදා අධ්යාපනය තුළින් ශ්රී ලාංකික නිලධාරීන්ට මෙරටට පැමිණි පසු ප්රායෝගිකව යොදාගත හැකි විශේෂඥ දැනුම හා කුසලතා ලබාදෙන ආකාරය පෙන්නුම් කරන බව එහි සඳහන් ය.
එමගින් නාවික හමුදාවේ මෙහෙයුම් සූදානම සහ දෙරට අතර ද්විපාර්ශවික ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් වනු ඇති බව ද එම නිවේදනයේ සඳහන් වේ.
'වඩාත් සුරක්ෂිත සාගර කලාපයක්'
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ලුතිනන් කමාන්ඩර් පියුමි කත්රිආරච්චි වෙත එක්සත් ජනපද නාවික හමුදා පශ්චාත් උපාධි අධ්යයන ආයතනයෙන් පිරිනමන ලද ශාස්ත්රපති උපාධිය නිල වශයෙන් පිරිනැමීම ඔක්තෝබර් 26 වන දා කොළඹදී පැවැත්විණි.
එයට එක්සත් ජනපද තානාපති එරික් මේයර්, ශ්රී ලංකා නාවික හමුදාවේ පුහුණු අධ්යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් රොහාන් ජෝසෆ් සහ මාධ්ය අධ්යක්ෂ කමාන්ඩර් සී.ආර්.පී. වලාකුළුගේ යන විශේෂ අමුත්තන් පිරිසක් සහභාගී වූහ.
"ලුතිනන් කමාන්ඩර් කත්රිආරච්චිගේ ජයග්රහණ තුළින් ඇයගේ සුවිශේෂී කැපවීම මෙන් ම, ලොව ප්රමුඛ පෙළේ ඇමෙරිකානු හමුදා අධ්යාපනයේ වටිනාකම ද මැනවින් පිළිබිඹු වේ. එක්සත් ජනපද අරමුදල් මගින් සැපයුණු පුහුණුව හරහා ඇය ලබා ගත් දැනුම හා කුසලතා, ශ්රී ලංකා නාවික හමුදාව ශක්තිමත් කිරීම සඳහා ඇය දැන් මෙරටට රැගෙන විත් තිබේ. ඇයගේ සාර්ථකත්වයෙන් පෙන්නුම් කෙරෙන්නේ, අපගේ හවුල්කරුවන්ගේ වෘත්තීය සංවර්ධනය සඳහා ආයෝජනය කිරීම තුළින් අපගේ ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් වන අතර ම, වඩාත් සුරක්ෂිත ඉන්දීය සාගර කලාපයක් බිහිකිරීමට ද දායක වන බව යි," යනුවෙන් එක්සත් ජනපද තානාපති එරික් මේයර් එහිදී පැවසීය.


































