ඔස්ට්‍රේලියාවේ 'සූට්කේසයකින් හමුවූ මළ සිරුර' කාන්තා රුවකට සමාන බෝනික්කෙකු බවට අනාවරණය වෙයි

A night scene on a country road with several police cars and a small blue tent roof behind some trees.

ඡායාරූප මූලාශ්‍රය, ABC News

ඡායාරූප ශීර්ෂ වැකිය, පොලිසිය මුලින් කාන්තා මළ සිරුරක් යැයි සිතූ දෙය ජීවමාන ස්වභාවයක් ගත් බෝනික්කෙකු බව අධිකරණ වෛද්‍ය පරීක්ෂණවලින් අනාවරණය විය
    • Author, ලානා ලෑම්
    • Role, සිඩ්නි
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 3

සූට්කේසයක් තුළ තිබී හමුවූ මළ සිරුරක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට කැඳවනු ලැබූ ඔස්ට්‍රේලියානු පොලිසිය, එම "වින්දිතයා" ඇත්ත වශයෙන් ම සැබෑ මිනිස් සිරුරක් මෙන් පෙනෙන බෝනික්කෙකු බව තහවුරු කරගෙන තිබේ.

එය, සිඩ්නි නගරයට නිරිත දෙසින් කිලෝමීටර් 230ක් (සැතපුම් 143ක්) පමණ දුරින් පිහිටි ඕලන් (Oallen) නම් කුඩා ගම්මානය ආසන්නයේ මාර්ගයක් අසල තිබී පුද්ගලයන් දෙදෙනෙකු විසින් සොයා ගන්නා ලදී.

සඳුදා දින පොලිසිය විසින් ඝාතන විමර්ශනයක් ආරම්භ කරනු ලැබූ බවට නිවේදනය කිරීමත් සමග එම සිද්ධිය කෙරෙහි දැඩි උනන්දුවක් ඇති වූ නමුත්, පසුව සිදු කළ අධිකරණ වෛද්‍ය පරීක්ෂණවලින් එහි තිබූ දෑ මිනිස් කොටස් නොවන බව තහවුරු වීමත් සමග ඔවුහු එම ස්ථාවරය වෙනස් කළහ.

"සූට්කේස් එකේ තිබුණ දේ මුලින් මිනිස් සිරුරක් කියලා වරදවා වටහාගෙන තිබුණා. ඒ සිරුරේ අංග මිනිස් ශරීර කොටස්වලට ගොඩක් සමාන ලෙස පෙනුණා," යැයි හියුම් (Hume) පොලිස් දිස්ත්‍රික්කයේ අධිකාරී ලින්ඩා බ්‍රැඩ්බරි පැවසුවා ය.

"නමුත් ඒ කොටස් එසේ නොවන බව අපි වෙනත් ක්‍රම මගින් තහවුරු කරගෙන තිබෙනවා."

"බෝනික්කා ඇඳුම් ඇඳගෙන හිටියා, කොණ්ඩයක් තිබුණා. නහය විදලා තිබුණා," පොලිසිය පැවසූ අතර, "ඒ භාණ්ඩයේ තැලීම් සහ තණකොළ වැනි සලකුණු ද තිබුණා" යැයි පැවසීය.

අධිකරණ වෛද්‍ය විද්‍යාත්මක කණ්ඩායම් සාමාජිකයින් පිරිසක් සහ විමර්ශකයින් ඉරිදා එම ස්ථානයට පැමිණි බවත්, සියලු ක්‍රියාපටිපාටි අනුගමනය කළ බවත් පොලිස් අධිකාරී බ්‍රැඩ්බරි පැවසීය.

"අපගේ විමර්ශනයේ විශ්වසනීයත්වය පවත්වා ගැනීම සඳහා අපරාධ සිදුවූ ස්ථාන හැකි තාක් දුරට කැළඹීමක් ඇති නොවන ආකාරයට තබා ගැනීම මෙහි අරමුණ වුණා," යැයි පැවසූ බ්‍රැඩ්බරි, එම නඩුව හැසිරවූ ආකාරය පිළිබඳව තමාට "කිසිදු ගැටලුවක් නොමැති" බව ද සඳහන් කළා ය.

මීට පැය කිහිපයකට පෙර, එම ගමන් මල්ල සොයාගත් පුද්ගලයන් දෙදෙනාට මෙය "ඉතා කම්පනසහගත සොයාගැනීමක්" වූ බව බ්‍රැඩ්බරි මාධ්‍ය වෙත පවසා තිබිණි.

"අවාසනාවට මෙන්, බොහෝ දෙනා සති අන්තයේදී සිදු කරන ආකාරයට ඔවුන් ද සති අන්තයේ වාහනයකින් ගමන් කරමින් සිටියදී විවේකයක් ගැනීම සඳහා අතරමග නතර වී සිටියා," යැයි ඇය පැවසුවාය.

එම සොයාගැනීම වාර්තා කිරීම සම්බන්ධයෙන් එම දෙදෙනා ගත්තේ, "නිවැරදි තීරණයක්" බව ඇය පැවසුවා ය.

"එය මළ සිරුරක් නොවන බව ඔවුන්ට දැනුම් දෙනවා.," බ්‍රැඩ්බරි පැවසීය.

මේ වන විට, මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කර තිබේ.