සාමාන්‍ය ජනතාවට බදු දැල පුළුල් කළත්, නොගෙවූ බදු සහ දඩ මුදල් රු. බිලියන 961ක් ඇතැයි විගණනයකින් හෙළි වෙයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, අමන්දිකා කුරේ
- Role, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 5
2022 වසරේ ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදයෙන් පසුව රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම සඳහා බදු දැල පුළුල් කිරීමට එවකට පැවති රජය කටයුතු කළේ ය.
ඒ අනුව, වක්‍ර බදු වැඩි කිරීම මෙන් ම, උපයන විට බද්ද වැනි ඍජු බදු වැඩි කිරීම හරහා ද බදු දැල පුළුල් කෙරිණි.
එලෙස ඍජු බදු අය කිරීමත් සමග රජය උපයන විට බද්දෙන් 2023 වසරේදී රු. බිලියන 144.95ක් ද, 2024 වසරේදී රු. බිලියන 197.57ක් ද, 2025 වසරේදී රු. බිලියන 201.12ක් ද උපයා තිබේ.
කෙසේ වෙතත්, එවැනි පසුබිමක 2024 ජූනි 30 දක්වා දේශීය අදායම් දෙපාර්තමේන්තුවට අය කර ගැනීමට නොහැකි වූ මුළු හිඟ බදු, දඩ සහ පොළී මුදල රු. බිලියන 961.4ක් බව විගණන වාර්තාවකින් හෙළිදරව් කර තිබේ.
බදු අය කර ගැනීමට නොහැකි වී ඇත්තේ ඇයි?
මෙලෙස 2024 වසරේ ජූනි 30 වන විට මුළු හිඟ බදු, දඩ හා පොළී මුදලෙන් රු. බිලියන 793ක් ම තාවකාලිකව අත්හිටුවා ඇති ඒවා බව ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කරන ලද වාර්තාවේ දැක්වේ.
එයින් රු. බිලියන 168.3ක් ම අය කර ගත හැකි බදු මුදල් ය.
ඒවා අය කර ගැනීමේ ප්‍රතිශතය 17%ක් පමණක් බවත්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හිඟ බදු මුදල් අය කර ගැනීම ප්‍රමාණවත් කාර්යක්ෂමතාවකින් යුතුව සිදු කර නැතැයි වාර්තාව පවසයි.
මෙම වාර්තාව පෙන්වා දෙන තවත් විශේෂ කරුණක් වන්නේ, 2023 ජූනි 30 සිට 2024 වසරේ ජූනි 30 දක්වා කාලය තුළ පමණක් හිඟ බදු, දඩ හා පොළී මුදල් රු. බිලියන 18කට වඩා වැඩි ප්‍රමාණයකින් වැඩි වී තිබීම යි.
තව ද දෙපාර්තමේන්තුව විසින් 2024 දෙසැම්බර් 31 දිනට ඉදිරිපත් කරනු ලැබ තිබූ හිඟ බදු වාර්තාවේ සමාජ ආරක්ෂණ දායකත්ව බද්දට අදාළ හිඟ බදු මුදල් ඇතුළත් කර තිබී නොමැත.
වැඩි වශයෙන් නොගෙවා ඇති බදු මොනවා ද?
විගණන වාර්තාවට අනුව හිඟ බදු මුදල් විවිධ බදු කාණ්ඩ යටතේ වාර්තා වී තිබේ.
2024 වසරේ ජූනි 30 වන දිනට ප්‍රතිශතයක් ලෙස වැඩි ම හිඟ බදු ශේෂයක් පවතින්නේ ආදායම් බද්දේ ය.
ඉන්පසුව වැඩි ම හිඟ බදු ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස වැඩි එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බද්ද යි.
සමස්ත හිඟ බදු ශේෂයෙන් 93%ක් ම පවතින්නේ, මෙම බදු කාණ්ඩ දෙකෙහි ය.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පවතින පරිගණක පද්ධති දෙකට ම අනුව එම පද්ධති දෙකේ ම ඉහත සඳහන් බදු වර්ග දෙක වැඩි ම හිඟ බදු ශේෂයන් සහිත බදු කාණ්ඩය බවට පත්ව තිබේ.
RAMIS පද්ධතිය (2016 සිට ක්‍රියාත්මක බදු පරිපාලන පරිගණක පද්ධතිය) තුළ වාර්තා වී ඇති සමස්ත හිඟ මුදල රුපියල් බිලියන 765.2කි. මෙයින් රුපියල් මිලියන 639,183ක් ම (83.5%) තාවකාලිකව අත්හිටුවන ලද බදු වේ.
Legacy පද්ධතිය (2015 දෙසැම්බර් 31 දක්වා පැවති) තුළ රුපියල් බිලියන 196.2ක හිඟ බදු මුදලක් පවතී.
තාවකාලිකව බදු අත්හිටුවා ඇත්තේ ඇයි?
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් අය කර ගනු ලැබිය යුතු සමස්ත හිඟ බදු, දඩ හා පොළී මුදල් අය කර ගැනීමට පවතින හැකියාව මත, අය කර ගත හැකි සහ අය කිරීම් තාවකාලිකව අත්හිටවූ ලෙස වර්ගීකරණය කර තිබේ.
ඒ අනුව, මුළු හිඟ බදු, දඩ හා පොළී මුදල වන රු. බිලියන 961.4න් අය කර ගත හැකි මුදල රු. බිලියන 168.3ක් ලෙස ද අය කිරීම් තාවකාලිකව අත්හිටවූ මුදල රු. බිලියන 793ක් ලෙස ද හඳුනාගෙන තිබේ.
2006 අංක 10 දරන දේශීය ආදායම් පනතේ 173 (6) වන උපවගන්තිය අනුව, පනවන ලද බදු සම්බන්ධයෙන් බදු ගෙවන්නා අතෘප්තියට පත්ව තක්සේරුවට විරුද්ධව අභියාචනයක් ඉදිරිපත් කළ විට එම ක්‍රියාවලිය සමථයකට පත්වන තුරු එම බදු අය කර නොගැනීමට නීතිමය ප්‍රතිපාදන සපයා තිබේ.
විගණන වාර්තාවට අනුව 2024 ජූනි 30 වන දිනට පවතින තාවකාලිකව අත්හිටුවා ඇති හිඟ බදු ශේෂවලින් 55%ක් ම අභියාචන හෝ සමාලෝචන ඉල්ලීම් මට්ටමේ තිබී ඇති අතර, 15%ක නීතිමය කටයුතු සිදු කෙරෙමින් තිබී ඇත.
මෙම හිඟ බදු නියෝජනය වන ආයතන මොනවා ද?
2024 ජූනි 30 දිනට මුළු හිඟ බදු, දඩ හා පොළී මුදලෙන් දළ වශයෙන් 63.83%ක් පහත සඳහන් ආයතන ව්‍යූහයන් විසින් ගෙවනු ලැබිය යුතු ඒවා ය.
- රාජ්‍ය ආයතන (බැංකු, මූල්‍ය සංස්ථා හා සමාගම්) - 45
- පෞද්ගලික මූල්‍ය සමාගම් - 101
- ප්‍රධාන පෙළේ පෞද්ගලික ආයතන - 322
මෙම ආයතන ගෙවිය යුතු දැනට තාවකාලිකව අත්හිටුවා ඇති හිඟ බදු ශේෂය වන රු. බිලියන 565කට ආසන්න මුදලෙන් 27%ක් රාජ්‍ය ආයතන, 44%ක් පෞද්ගලික මූල්‍ය සමාගම් සහ 29%ක් ප්‍රධාන පෙළේ පුද්ගලික ආයතන නියෝජනය කරනු ලබන අතර, අය කර ගත හැකි හිඟ බදු ශේෂය වන රු. බිලියන 48.7න් 3%ක් රාජ්‍ය ආයතන, 17%ක් පෞද්ගලික මූල්‍ය සමාගම් සහ 80%ක් ප්‍රධාන පෙළේ පෞද්ගලික ආයතන ගෙවිය යුතු බදු වේ.
'සැඟවී සිටින අයගෙන් බදු අය කර ගත යුතු යි'
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මෙලෙස මෙම වාර්තාව ප්‍රකාශයට පත් කෙරෙන අතරතුර, බදු අය කර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක පසුගිය දා පැවති දේශීය ආදායම් මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ 52 වන වාර්ෂික සමුළුවේදී මෙලෙස පැවසුවේ ය.
"දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දැන් තියෙන ලොකු ම අභියෝගය තමයි, කොහොම ද සාමාන්‍ය ජනතාවට විශාල වශයෙන් බලපාන බදු අනුපාත අඩු කර ගන්නේ කියන එක," ඔහු පැවසුවේ ය.
"මම හිතන්නේ ඒකට විසඳුම් තියෙන්නේ ම දේශීය අදායම් දෙපාර්තමේන්තුව තුළ. අපට පුළුවන් නම් සාමාන්‍ය ජනතාවට බලපාන ඍජු බදු අඩු කර ගන්න අනිත් පැත්තෙන් බදු වැඩියෙන් එකතු කරලා දෙන්න පුළුවන් නම් ලොකු හයියක්. රජයේ සේවකයෝ විදිහටත් පෞද්ගලික අංශයේ සේවකයන්ට, නිලධාරීන්ට තියෙන ගැටලුවක් තමයි මේ PAYE ටැක්ස් එක. ඒ නිසා ඒක අඩු කර ගැනීමේ අවශ්‍යතාවක් තියෙනවා."
මේ නිසා බදු ගෙවීමෙන් සැඟවී සිටින අයගෙන් බදු අය කර ගත යුතු බව ජනාධිපති ලේකම්වරයා පැවසුවේ ය.
වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු උපයන විට බද්ද සඳහා මීට පෙර පැවති වාර්ෂික බදු නිදහස් සීමාව ලක්ෂ 12 සිට 18 දක්වා ඉහළ දැමීමට කටයුතු කළේ ය.
කෙසේ නමුත් මේ වසරේ අයවැයේදී එය සංශෝධනය නොවී ය.
ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කරන ලද විශේෂ විගණන වාර්තාවේ ද අය කර ගත යුතු බදු කඩිනමින් අය කර ගැනීමට කටයුතු කළ යුතු බව දක්වා තිබේ.
එමෙන් ම වංචනික හෝ නොසැලකිලිමත්භාවය හේතුවෙන් අය කර ගත හැකි බදු හා දඩ මුදල් අය කර ගැනීමට පියවර ගෙන නොමැති නිලධාරීන් සම්බන්ධයෙන් විනයානුකූලව සුදුසු පියවර ගැනීමට ද ජාතික විගණන කාර්යාලය විසින් නිර්දේශ කරනු ලැබ තිබීම විශේෂත්වයකි.

































