නවුෆර් මවුලවී ඇතුළු 24 දෙනෙකුට එරෙහි පාස්කු නඩුවේ තීන්දුවට දින නියම වෙයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 3
2019 වසරේ පාස්කු ඉරුදින කොළඹ හා තදාසන්න ප්‍රදේශවල සංචාරක හෝටල්, කිතුණු දේවස්ථාන ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර එල්ල කිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270ක් යටතේ නවුෆර් මවුලවී ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පැවති නඩු විභාගය අවසන් කළ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල එහි තීන්දුව සැප්තැම්බර් මස 22 වන දා ප්‍රකාශයට පත් කරන බව සඳුදා (අගෝ: 24) රාත්‍රියේ නිවේදනය කළේ ය.
වසර පහකට ආසන්න කාලයක් පැවති මෙම දීර්ඝ නඩු විභාගය අගෝස්තු එදින අවසන් කළ නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබිණි. එමෙන් ම, මෙම නඩුකරයට අදාළ විත්තිකරුවන්ගේ දේශන ද එදින රාත්‍රියේ අවසන් කෙරිණි.
ඉන් අනතුරුව පැමිණිල්ලේ සහ විත්තියේ ලිඛිත දේශන තිබේ නම් ඒවා සැප්තැම්බර් මස 8 වන දාට පෙර ලබා දෙන ලෙස විනිසුරු මඩුල්ල දෙපාර්ශවයට නියෝග කළේ ය.
මෙම නඩුකරයේ විත්තිකරුවන් 24 දෙනාට එරෙහිව චෝදනා 23,270ක් එල්ල කර තිබෙන අතර මෙම නඩුවේදී පුද්ගලයින් 2,309 දෙනෙකු පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබා දී තිබිණි.
නඩු විභාගයේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විත්තිකරුවන් පොලිසියට ලබා දී තිබූ පාපොච්චරණ 10ක් සාක්ෂි වශයෙන් පිළිගැනීමට ද අධිකරණය තීරණය කර ඇත. එම පාපෝච්චාරණ විත්තිකරුවන් ස්වේච්ඡාවෙන් ලබා දී තිබූ බවටත් අධිකරණය මීට පෙර තීරණය කර තිබිණි.
ඊට අමතරව රජයේ රස පරීක්ෂක වාර්තා, DNA වාර්තා, ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින්ට අදාළ අධිකරණ වෛද්‍ය වාර්තා යනාදිය ද පැමිණිල්ල විසින් සාක්ෂි වශයෙන් ඉදිරිපත් කරන ලදී.
ඊට අමතරව පුපුරණ ද්‍රව්‍ය, පුපුරණ ද්‍රව්‍ය නිපදවීම සඳහා යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය, කඩු, ගිනි අවි ඇතුළු නඩු භාණ්ඩ 2,076ක් ද පැමිණිල්ල මගින් මෙම නඩු විභාගය සඳහා ඉදිරිපත් කර තිබීම විශේෂත්වයකි.
2019 වසරේ පාස්කු ඉරුදින කොළඹ, මීගමුව, මඩකලපුව ඇතුළු තදාසන්න ප්‍රදේශවල පිහිටි කිතුණු දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කර පුද්ගලයින් 493 දෙනෙකු ඝාතනය කර තවත් පුද්ගලයින් 568 දෙනෙකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නවුෆර් මවුලවී හෙවත් මොහොම්මදු ඊබ්‍රහිම් මොහොම්මදු නවුෆර් ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම නඩුව ගොනු කරනු ලැබ තිබිණි.

































