ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉන්දියාවට එරෙහිව වසර 67ක් පැරණි ටෙස්ට් ක්‍රිකට් වාර්තාවක් අලුත් කළ සොනාල් දිනූෂ
- Author, කුමුදු ජයවර්ධන
- Role, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 4
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂතා සම්බන්ධයෙන් බොහෝ ක්‍රීඩා ලෝලීන් කලකිරීමකට පත්ව සිටින අවස්ථාවක ඉන්දියාව සමග පැවති තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අවසන් වූයේ, ඉන්දියාවට වැඩි ගෞරවයක් ලබා දෙමිනි.
අගෝස්තු 15 වන දා සිට 19 වන දා දක්වා පැවති පළමු ටෙස්ට් තගරයෙන් ලකුණු 165ක ජයක් ඉන්දියාවට හිමි වූ අතර, පරාජය අබියස පැවති දෙවන තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත් වූහ.
මේ තරගාවලිය පුරා ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්ගෙන් ලැබුණු දායකත්වය අල්ප මට්ටමක පැවති අතර, නවක ක්‍රීඩකයෝ සහ පන්දු යවන්නෝ පිතිකරුවන් ලෙස සාර්ථකත්වයක් පෙන්නුම් කළහ.
ඒ සියලු දෙනා අතරින් ලෝකයේ ම අවධානය දිනා ගැනීමට එක් නවක ක්‍රීඩකයෙක් සමත් විය.
ඒ, සොනාල් දිනූෂ ගමගේ ය. ලෝකයේ අවධානය ඔහු වෙත යොමු වූයේ, වසර 67ක් ආසන්න කාලයක් නොබිඳී පැවති වාර්තාවක් සම කිරීමට සමත් වූ හෙයිනි.
සොනාල් දිනූෂ අලුත් කළ වසර 67ක් පැරණි වාර්තාව
සොනාල් දිනූෂ පළමු වරට ඉන්දීය කණ්ඩායමට එරෙහිව ටෙස්ට් ක්‍රිකට් තරගයකට ක්‍රීඩා කළේ, අගෝස්තු 15 වන දා ඇරඹුණු පළමු ටෙස්ට් තරගයේදී ය.
එහිදී, ශ්‍රී ලංකා පිතිකරුවන් අන්ත අසරණ තත්ත්වයක පසුවෙද්දී 6 වන පිතිකරු ලෙස පිටියට පිවිසි සොනාල් දිනූෂ ලකුණු 100ක් රැස් කරමින් සිය පළමු ශතකය වාර්තා කළේ ය.
දෙවන ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයෙන් ගලවා ගැනීමට හුදෙකලා සටනක නිරත වූ ඔහු ලකුණු 84ක් රැස් කිරීමට සමත් විය.
සිය පස් වන ටෙස්ට් ක්‍රිකට් තරගයට එක්වෙමින් ඉන්දියාවට එරෙහි දෙවන තරගයේ පළමු ඉනිමේදී ලකුණු 103ක් රැස් කළ සොනාල් දිනූෂ දෙවන ඉනිමේදී ද ශතකයක් රැස් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයෙන් ගලවා ගත්තේ ය.
ඒ අනුව, ඉන්දියාවට එරෙහිව තමන් ක්‍රීඩා කළ පළමු ටෙස්ට් ඉනිම 4දී ම ලකුණු 50 ඉක්මවා රැස් කළ 5 වන පිතිකරුවා බවට සොනාල් දිනූෂ පත් විය.
අවසන් වරට එවැනි දක්ෂතාවක් දක්වා තිබුණේ, 1959 වසරේදී ඉන්දියාවට එරෙහිව සිය පළමු ඉනිම 4 තුළ ලකුණු 50කට වඩා රැස් කළ එංගලන්ත ක්‍රීඩක කෙන් බැරිංටන් ය. එනම්, මීට වසර 67කට ඉහතදී ය.
ඊට පෙර, ඩග්ලස් ජාර්ඩින් - 1932 (එංගලන්තය), එවර්ටන් වීක්ස් - 1948 (බටහිර ඉන්දීය කොදෙව්) සහ ක්ලයිඩ් වෝල්කොට් - 1948 (බටහිර ඉන්දීය කොදෙව්) මෙම දක්ෂතාව දක්වා තිබිණි.
සොනාල් දිනූෂ මෙවර එම වාර්තාව පිහිටුවන තුරු ගතවූ වසර 67 තුළ එය බිඳ වැටී නොතිබිණි.
වසර 26ක් පැරණි ඇන්ඩි ෆ්ලවර්ගේ වාර්තාව
මේ අතර, වසර 26කට පෙර සිම්බාබ්වේ හිටපු නායක ඇන්ඩි ෆ්ලවර් පිහිටුවා තිබූ වාර්තාවක් ද සොනාල් දිනූෂ අලුත් කළේ ය.
එනම්, තරග දෙකකින් සමන්විත ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගාවලියකදී ඉනිම 4දීම ලකුණු 50 ඉක්මවා රැස් කරමිනි.
2000 වසරේ නොවැම්බර් මාසයේදී ඉන්දියාවට එරෙහිව මෙම දක්ෂතාව දක්වා තිබිණි.
ඒ අනුව, 2000 වසරේ දෙසැම්බර් මස 4 වන දා උපත ලැබූ සොනාල් දිනූෂ එලෙස සම කළේ, තමන් උපන් වසරේ පිහිටවූ වාර්තාවකි.
දිනූෂගේ විශේෂත්වය වන්නේ, ඉන්දියාවට එරෙහි ඉනිම 4න් තුනකදී ම ශතක වාර්තා කිරීම ය.
ඔහු ඉනිම 4 තුළ ලකුණු 420ක් රැස් කිරීමට සමත් විය. එහි සාමාන්‍යය 140කි.
ශ්‍රී ලංකාවේ තුන් වන පිතිකරු
මේ අතර, ඕනෑ ම කණ්ඩායමකට එරෙහිව ක්‍රීඩා කළ පළමු තරග දෙකේදී ම ලකුණු 50කට අධික සංඛ්‍යාවක් රැස් කළ තුන් වන පිතිකරු ලෙස සොනාල් දිනූෂ ඉතිහාසයට එක් විය.
මීට පෙර, කුමාර් සංගක්කාර බංග්ලාදේශයට සහ එංගලන්තයට එරෙහිවත්, දිමුත් කරුණාරත්න දකුණු අප්‍රිකාවට එරෙහිවත් මෙම දක්ෂතාව දක්වා තිබිණි.
සොනාල් දිනූෂ යනු කවුද?
කොළඹ, මහානාම විද්‍යාලයේ ආදිශිෂ්‍යයෙකු වන සොනාල් දිනූෂ තවමත් වයස අවුරුදු 25ක තරුණයෙකි.
ඔහු 2020 වසරේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායමේ සාමාජිකයෙක් විය.
පිතිකරණ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කරන ඔහු මේ දක්වා පළමු පෙළ තරග 69කදී ලකුණු 3882ක් රැස් කර තිබේ.
කොළඹ ක්‍රිකට් සමාජ (CCC) කණ්ඩායම නියෝජනය කර ඇති දිනූෂ, ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී දඹුල්ල සහ ගාල්ල කණ්ඩායම් නියෝජනය කර ඇත.