ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ක්‍රිකට් ඉතිහාසයේ අමුතුම වාර්තාවකට හිමිකම් කියන දික්වැල්ල යළිත් ටෙස්ට් පිටියට
සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සඳහා සහභාගීවීමට නියමිත ශ්‍රී ලංකා සංචිතය (අගෝස්තු 12 වැනිදා) නිවේදනය කෙරිණි.
ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයේ නායකයා ලෙස ධනංජය ද සිල්වා නම් කර ඇති අතර උප නායකයා ලෙස කමිඳු මෙන්ඩිස් නම් කර තිබේ.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ටෙස්ට් තරගාවලියක් ක්‍රීඩා කරනු ලබන්නේ වසර 04කට පසුව වන අතර, 2022 වසරේදී දෙරට අතර පැවති ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට ඉන්දියාව සමත්විය.
ශ්‍රී ලංකා සංචිතයේ සිදුකළ වෙනස්කම්
මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කඩුලු රකින ක්‍රීඩකයා ලෙස නිරෝෂන් දික්වැල්ල සංචිතයට කැඳවා තිබේ. ඒ පසුගියදා නිමාවට පත්වූ ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ දී ආබාධයට ලක්වූ කුසල් මෙන්ඩිස් වෙනුවටය.
ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට 25 හැවිරිදි තුන් ඉරියව් ක්‍රීඩක කේශර නුවන්ත ද කැඳවා තිබේ. දකුණතින් පිත්ත හසුරුවන, දකුණතින් පිට දඟපන්දු යවන ඔහු මාතර සාන්ත සර්වියස් විදුහලේ ආදී සිසුවෙකි.
වසර 03කට පසුව නැවත අවස්ථාව ලැබූ දික්වැල්ල
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ආන්දෝලනාත්මක සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ නිරෝෂන් දික්වැල්ල, නැවත ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරගයක් සඳහා ක්‍රීඩා කිරීමට කැඳවා ඇත්තේ වසර 03 කට පසුවය.
1993 ජූනි 23 වනදා මහනුවරදී උපත ලැබූ නිරෝෂන් දික්වැල්ල මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදැරූ අතර 2012 වසරේදී ත්‍රිත්ව විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කර, එම වසරේ හොඳම පාසල් ක්‍රීඩකයා සම්මානය දිනා ගැනීමට ද සමත් විය.
2014 ජූලි 24 වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්ට් වරම් දිනා ගනු ලැබූ නිරෝෂන් දික්වැල්ල එම ටෙස්ට් තරගයේදී පළමු ඉනිමේදීම වේගවත් ලකුණු 72ක් ලබා ගනිමින් කැපී පෙනෙන ආරම්භයක් ලබා ගත්තේය.
33 හැවිරිදි නිරෝෂන් දික්වැල්ල ටෙස්ට් තරග 54ක ඉනිම 96කදී ලකුණු 2757ක් රැස් කර තිබේ. ඊට අර්ධ ශතක 22ක් ඇතුළත් වන නමුත්, එක් ශතකයක් හෝ ඇතුළත් නොවේ. ඔහුගේ ටෙස්ට් ඉනිමක ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස දැක්වෙන්නේ ලකුණු 96කි.
ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ ශතකයක් ලබා නොමැතිව වැඩිම ලකුණු සංඛ්‍යාවක් සහ වැඩිම අර්ධ ශතක සංඛ්‍යාවක් රැස් කර ඇති ක්‍රීඩකයා වන්නේ ද දික්වැල්ලය. ඔහු අවස්ථා කිහිපයකදීම ශතකය අසලටම පැමිණිය ද අවාසනාවන්ත ලෙස දැවී ගියේය.
දික්වැල්ල සහ තරග තහනම්
නිරෝෂන් දික්වැල්ල ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැඳවූයේ 2023 වසරේ මාර්තු මාසයෙන් පසු පළමු වරටය. ඔහු අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ටෙස්ට් තරගයක් සඳහා ක්‍රීඩා කරනු ලැබුවේ නවසීලන්ත කණ්ඩායමට එරෙහිවය.
එම තරගයෙන් පසුව නිරෝෂන් දික්වැල්ලට ක්‍රිකට් පිටියෙන් ඉවත් වීමට සිදු වූයේ ඔහුට එරෙහිව පැනවූ තරග තහනමක් හේතුවෙනි. මේ වන විට අවස්ථා 2කදී ඔහු තරග තහනමට ලක් වී ඇත.
දික්වැල්ල පළමු වරට තරග තහනමට ලක් වූයේ 2021 ජුනි මාසයේදීය. ඒ, ශ්‍රී ලංකා කණ්ඩායමේ, එංගලන්ත තරග සංචාරය තුළදී ජෛව ආරක්ෂිත බුබුල බිඳ දැමීමේ වරද හේතුවෙනි.
නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක සහ කුසල් මෙන්ඩිස්ට ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඔවුන්ට එරෙහිව වසරක ජාත්‍යන්තර තරග තහනමක්, මාස 6ක දේශීය තරග තහනමක් සහ දඩ මුදලක් පනවනු ලැබිණි. ඊට අමතරව ඔවුන්ට එරෙහිව ඇමෙරිකානු ඩොලර් 25,000ක දඩයක් පැනවීමට ද නිර්දේශ කර තිබිණි.
කෙසේවෙතත් එම ක්‍රීඩකයින්ට එරෙහිව පනවා තිබු ජාත්‍යන්තර තරග තහනම සහ දේශීය තරග තහනම 2022 වසරේ ජනවාරි මස 07 වැනිදා ඉවත් කරන ලදී. ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුවේ තීරණයකට අනුවය.
නිරෝෂන් දික්වැල්ල දෙවැනි වරට තරග තහනමකට ලක් වූයේ 2024 වසරේදීය. ඒ 2024 ලංකා ප්‍රීමියර් ක්‍රිකට් තරගාවලියේදී සිදු කළ තහනම් උත්තේජක පරීක්ෂණයකින් අනතුරුවය.
නිරෝෂන් දික්වැල්ලට සියලුම ආකාරයේ ක්‍රිකට් තරගවලට සහභාගී වීම වසර 3කට අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එවර නිවේදනය කළේය.
තහනම් ද්‍රව්‍යවල බලපෑමෙන් ක්‍රිකට් ක්‍රීඩාව නිදහස්ව පවතින බව සහතික කිරීම අරමුණු කරගනිමින් ලෝක තහනම් උත්තේජක විරෝධී නියෝජිතායතනයේ (WADA) මාර්ගෝපදේශවලට අනුකූලව ක්‍රීඩා අමාත්‍යාංශයේ සහයෝගයෙන් එම පරීක්ෂණය කළ බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.
පිරිසිදු හා සාධාරණ ක්‍රීඩාවක් සඳහා වූ කැපවීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතිශයින් වැදගත් බවත්, ඕනෑම චෝදනාවක් සහ උල්ලංඝනය කිරීමක් බරපත ලෙස සලකනු ලබන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දක්වා තිබිණි. කෙසේ නමුත් පසුව නිරෝෂන් දික්වැල්ල ඊට අභියාචනයක් ඉදිරිපත් කර තිබුණේය.
ඒ අනුව 2024 වසරේ දෙසැම්බර් 11 වැනිදා නිරෝෂන් දික්වැල්ලට පනවා තිබූ වසර තුනක තරග තහනම මාස 3ක කාලයකට අඩු කිරීමට ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය පියවර ගත්තේය. ඒ ඔහු යොමු කළ අභියාචනයක් සළකා බැලීමෙන් අනතුරුවය.
නිරෝෂන් දික්වැල්ල කොකේන් නැමති සංඝටකය ලබා ගෙන තිබුණේ තරගවලට සහභාගී වෙමින් සිටි අවස්ථාවක නොව ඉන් පරිබාහිර කාලයක බවටත්, මෙම සංඝටකය මගින් ක්‍රීඩා කුසලතා වැඩි දියුණු කිරීම සඳහා බලපෑමක් සිදු නොවන බවත් පෙන්වා දෙමින් අදාළ අභියාචනය ඉදිරිපත් වී තිබිණි.
ඒ අනුව ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය අදාළ දඩුවම මාස තුනක් දක්වා අඩු කිරීමට තීරණය කළේ, අන්තර්ජාතික තහනම් උත්තේජක මර්දන ආයතනය හෙවත් වාඩා ආයතනයේ නීතිවලට අනුව කරුණු සලකා බැලීමෙන් අනතුරුවය. අදාළ වසර තුනක දඬුවම පනවා ඒ වන විට මාස තුනක කාලය ඉකුත් වී තිබිණි.
ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය එම නිවේදනය නිකුත් කළ දිනට පසු දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද නිවේදනයක් නිකුත් කළේය.
එහි දැක්වුණේ, ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය ලබා දුන් තීරණයට අනුව නිරෝෂන් දික්වැල්ලට සියලුම ආකාරයේ තරග ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දුන් බවය.
කඩුලු රකින ක්‍රීඩකයින් දේශීය තරග බිමේ දැක්වූ දක්ෂතා
- 2025 - 2026 අන්තර් සමාජ තුන් දින ක්‍රිකට් තරගාවලියේදී කඩුලු රකින්නන් ප්‍රදර්ශනය කළ දක්ෂතා අනුව ඉදිරියෙන්ම සිටින්නේ නිරෝෂන් දික්වැල්ලය. NCC කණ්ඩායම නියෝජනය කළ ඔහු තරග 9ක ඉනිම 13කදී දවා ගැනීම් 26කට දායක වී ඇත. ඒ උඩ පන්දු 21ක් සහ ස්ටම්ප් කිරීමේ අවස්ථා 5ක් ලෙසය.
- ඒ.ස්. කැපිටල් කණ්ඩායමේ රනේෂ් සිල්වා තරග 10ක ඉනිම 17කදී දවා ගැනීම් 24 කට දායක වී ඇත. ඊට උඩ පන්දු 23ක් සහ ස්ටම්ප් දවා ගැනීම් අවස්ථාවක් ඇතුළත්ය.
- කුරුණෑගල කණ්ඩායමේ මනෝජ් සරච්චන්ද්‍ර තරග 09ක ඉනිම 15ක දවා ගැනීම් 23කට දායක වී ඇති අතර ඊට උඩ පන්දු 16ක් සහ ස්ටම්ප් අවස්ථා 07ක් ඇතුළත් වේ.
- CCC කණ්ඩායමේ 22 හැවිරිදි අංජල බණ්ඩාර තරග 9ක ඉනිම 12 කදී දවා ගැනීම 20කට දායක වී ඇත. ඊට උඩ පන්දු 19ක් සහ ස්ටම්ප් අවස්ථාවක් ඇතුළත්ය.
ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම අතර පැවැති සිව් දින ක්‍රිකට් තරගාවලියේදී අංජල බණ්ඩාර පිතිකරුවෙකු ලෙස දක්ෂතා දැක්වීය. ඔහු එම තරගාවලියේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ පිතිකරු බවට පත් වුයේ ලකුණු 457ක් රැස් කරමිනි. එහිදී එක් ඉනිමකදී නොදැවී ලකුණු 189ක් රැස් කිරීමට ඔහු සමත් විය. අංජල එම තරගාවලියේදී ශතක 3ක් රැස් කළේය.
ඉකුත් වසර කිහිපය තුළ ජාත්‍යන්තර තරග බිමේ කඩුලු රකින්නන් ලෙස කටයුතු කළ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම ශ්‍රී ලංකාව සතු වේ.
සදීර සමරවික්‍රම සීමිත පන්දුවාර හා ටෙස්ට් තරගවලදී කඩුලු රකින්නෙකු ලෙස මෙන්ම මැදපෙළ පිතිකරුවෙකු ලෙස කැපී පෙනුණ දක්ෂතා දක්වා ඇත. ටෙස්ට් තරග 9 කට ක්‍රීඩා කළ ඔහු උඩ පන්දු 15 කට සහ ස්ටම්ප් 2කට දායක වී තිබේ.
නිශාන් මධුෂ්ක ද ටෙස්ට් තරග රටාව තුළ කඩුලු රකින පිතිකරුවෙකු ලෙස අවස්ථා කිහිපයකදීම කණ්ඩායම නියෝජනය කර ඇති අතර, ඔහුද ඉන්දීය කණ්ඩායමට එරෙහි පළමු ටෙස්ට් තරගයට නම් කළ ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටියි. තරග 2කින් සමන්විත ඉන්දු -ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 15 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතය.
දෙවැනි තරගය අගෝස්තු 23 වනදා කොළඹ SSC පිටියේදී ආරම්භ වීමට නියමිතය.