ඉරානයට පීඩනයක් ගෙන ඒමේ ට්‍රම්ප්ගේ උත්සාහයට ටෙහෙරානයෙන් වෙනස් ප්‍රතිචාරයක්?

ඡායාරූප මූලාශ්‍රය, Anadolu via Getty Images
- Author, අමීර් අසීමි
- Role, බීබීසී පර්සියානු සේවයේ සංස්කාරක
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 6
ඉරානය සතුව ලොව පුරා ඇති මූල්‍ය සම්බන්ධතා ඉලක්ක කරගත් "ආර්ථික ප්‍රහාරයක්" දියත් කළ බව එක්සත් ජනපදය පවසයි. එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් පැවසුවේ, මෙම සම්බාධකවලට ඩිජිටල් වත්කම්, තාක්ෂණ, රත්‍රන්, ගුවන් සේවා සහ නාවික ප්‍රවාහනය ඇතුළු ක්ෂේත්‍ර රැසක් ඇතුළත් වන බවයි. ඉරානය සමග මූල්‍යමය හවුල්කාරීත්වයක් ඇති කර ගන්නා ඕනෑ ම රටක් හුදෙකලා කිරීමට පියවර ගන්නා බව ද ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත්, බෙසන්ට් "economic D-Day" ලෙස හැඳින්වූ මෙම නිවේදනය ටෙහෙරානයට වඩා වොෂිංටනයේදී විශාල වැදගත්කමක් ඇති දෙයක් ලෙස පෙනිණි.
නිවේදනය නිකුත් වී සුළු වේලාවකට පසු, ඉරානයේ ආර්ථික අමාත්‍ය අලි මදනිසාදේ එය "පරණ කතාව ම" ලෙස හඳුන්වා දී, "ඕනෑ ම තත්ත්වයකට මුහුණ දීමට ඉරානය සූදානම්" බව පැවසීය. මෙම පියවර අපේක්ෂා කළ බවත්, ඒවාට මුහුණ දීම සඳහා සැලසුම් සකස් කර ඇති බවත් ඔහු සඳහන් කළේ ය.
ඔහුගේ ප්‍රතිචාරයෙන් මතුවන්නේ ඉරාන නායකයන් බොහෝ දුරට අසමින් සිටින ප්‍රධාන ප්‍රශ්නයයි: මීට පෙර නොකළ යමක් ඇමෙරිකාවට දැන් සිදු කිරීමට ඉතිරි වී ඇති ද?
ඉරානය සමග තවදුරටත් ගනුදෙනු කරන රටවල්, බැංකු සහ සමාගම්වලට එරෙහිව වඩා පුළුල් ද්විතීයික සම්බාධක පැනවිය හැකි බවට බෙසන්ට් අනතුරු අඟවා ඇත. එහෙත් එම ප්‍රතිපත්තියේ මූලික අදහස අලුත් දෙයක් නොවේ. ඉරානය වසර ගණනාවක් පුරා එක්සත් ජනපද සම්බාධකවලට මුහුණ දී ඇති අතර, ඉරානය සමග වෙළෙඳාම් කරන විදේශීය සමාගම්වලට එරෙහිව ගත් පියවර ද ඒ අතරට අයත් වේ.
ටෙහෙරානයට වැදගත් වන්නේ, පෙරට වඩා පුළුල් ලෙස මෙම සම්බාධක ක්‍රියාත්මක කිරීමට වොෂිංටනයට හැකිවේ ද යන්නයි.
එක්සත් ජනපද සම්බාධක දැනටමත් වෙනසක් ඇති කර තිබේ. ඒ හේතුවෙන් ඉරානයට පෙර මෙන් මුහුදු මාර්ග ඔස්සේ තෙල් අපනයනය කිරීමේ හැකියාව අඩු වී ඇති අතර, භාණ්ඩ හා උපකරණ ආනයනය කිරීම ද වඩාත් දුෂ්කර වී ඇත. ඉරානය රටවල් හතක් සමග ගොඩබිමින් දිගු දේශසීමා බෙදා ගන්නා අතර, සම්බාධක මගහැරීමට එම මාර්ග භාවිත කිරීමේ අත්දැකීම් ද වසර ගණනාවක සිට පවතී. එහෙත්, විශේෂයෙන් තෙල් අපනයන සම්බන්ධයෙන් කල, ගොඩබිම් මාර්ගවලට මුහුද ඔස්සේ සිදු කරන වෙළෙඳාම පහසුවෙන් ප්‍රතිස්ථාපනය කළ නොහැක.
එබැවින්, පෙර සම්බාධකවලින් බේරී පැවති මාර්ග, විශේෂයෙන් චීනය සහ ඉරානයේ අසල්වැසි රටවල් සම්බන්ධ මාර්ග වසා දැමීමට වොෂිංටනය සමත් වුවහොත්, ඉරානය මත ඇතිවන පීඩනය වඩාත් බරපතළ විය හැකිය. කෙසේ වෙතත්, එය පහසු කාර්යයක් නොවේ. චීනයේ විදේශ කටයුතු අමාත්‍යංශය අඟහරුවාදා ප්‍රකාශ කළේ, මෙම සම්බාධක නීතිවිරෝධී බව පවසමින් ඒවාට තමන් දැඩිව විරුද්ධ වන බවයි.
වොෂිංටනය නැවතත් ආර්ථික වශයෙන් පීඩනයක් එල්ල කිරීමට යොමුව ඇත්තේ ඔවුන් සතුව ඇති වෙනත් විකල්ප සීමිත බැවින් යැයි ඔවුන් තර්ක කළ හැක. නව හමුදා මෙහෙයුමක් දියත් කිරීම අවදානම්සහගත වන අතර, වසර ගණනාවක් පුරා ක්‍රියාත්මක කළ සම්බාධකවලට ද ඉරානය ඇමෙරිකාවේ ඉල්ලීම් පිළිගන්නා තත්ත්වයකට පත් කර ගැනීමට හැකි වී නැත.
වොෂින්ටනය රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාමාර්ග සඳහා ද ඉතිරි කර ඇත්තේ ඉතා සීමිත ඉඩකඩකි.
පකිස්ථානය ඇතුළු මැදිහත්කරුවන් තවදුරටත් සාකච්ඡා යළි ආරම්භ කිරීමට උත්සහ කරමින් සිටිය ද, තවදුරටත් ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව එක්සත් ජනපදය බැහැර කර නැත. යළිත් එල්ල වන මෙම තර්ජන ගිවිසුමකට පක්ෂ ඉරාන නිලධාරීන්ගේ ස්ථාවරය දුර්වල කළ හැකිය.

ඡායාරූප මූලාශ්‍රය, EPA
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
යුද්ධය ආරම්භ වීමටත් පෙර ඉහළ උද්ධමනය සහ වේගයෙන් දුර්වල වෙමින් පැවති මුදල් ඒකකය හේතුවෙන් ඉරාන ආර්ථිකය දැඩි අර්බුදයකට මුහුණ දී තිබිණි. පෙබරවාරි 28 වන දා එක්සත් ජනපද සහ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර සමග ගැටුම් ආරම්භ වීමෙන් පසු තත්ත්වය තවදුරටත් පිරිහී තිබේ.
ඉරාන මුදල් ඒකකය වන රියාල් අගය පහත වැටීමේ බලපෑම දැඩි ලෙස හා පුළුල්ව දැනෙමින් තිබේ. ආනයන වියදම් ඉහළ යාමත් සමග ව්‍යාපාරවලට ඉදිරි සැලසුම් කිරීම දුෂ්කර වී ඇති අතර, ජනතාවගේ ඉතුරුම්වල වටිනාකම ද අඩුවෙමින් තිබේ. තෙල් අපනයන සීමා කිරීම හේතුවෙන් රජයට විදේශ විනිමය ලබා ගැනීමේ හැකියාව ද අඩු වී ඇත.
නෙගින් - ඇගේ සැබෑ නම නොවේ - 34 හැවිරිදි කාන්තාවකි. ඇය පවසන්නේ, මේ වන විට ඇගේ මාසික ආදායම ඩොලර් 100ක් (පවුම් 73ක්) පමණ වන බවයි. ඇය බීබීසීයට පැවසුවේ, "මම සිනමා ශාලාවකට, රංග ශාලාවකට හෝ සංගීත ප්‍රසංගයකට යන්නේ නැහැ. මම කාටවත් තෑගි ගන්නේ නැහැ. උපන්දින සාදවලට සහභාගි වෙන්නේ නැහැ. මට මස් මිල දී ගන්න පුළුවන් රජයේ සහනාධාර වවුචරය තිබුණොත් විතරයි. එහෙම නැත්නම් මට ඒක මිල දී ගන්නත් බැහැ."
දරුවන් දෙදෙනෙකු සිටින ගෘහණියක වන මෝනා පවසන්නේ යුද්ධය ආරම්භ වූ දා සිට තම සැමියා රැකියාවක් නොමැතිව සිටින බවයි. ඇය පවසන්නේ, "අපිට බයයි. විශේෂයෙන් ඊයේ දාපු සම්බාධක නිසා. යුද්ධය ආරම්භ වුණ දවසේ ඉඳලා මගේ මහත්තයා නැවත රැකියාවට ගියේ නැහැ. ඔහු කලින් නැව්වල වැඩ කළා."
ඇය වැඩිදුරටත් පවසන්නේ, "අපි පුළුවන් තරම් වියදම් පාලනය කරගෙන ජීවත් වෙන්න උත්සහ කරනවා. ඒත් අමතර වියදම් සහ පොඩි පොඩි දේවල්වලට කරන වියදම් හැම එකක් ම වගේ අඩු කරන්න අපට සිද්ධ වෙලා තියෙනවා."

ඡායාරූප මූලාශ්‍රය, Anadolu via Getty Images
කාලය ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අවාසිදායක ලෙස ගෙවී යන බව ඉරානය විශ්වාස කරනවා විය හැකිය. හෝමූස් සමුද්‍ර සන්ධියේ තවදුරටත් බාධා ඇති වුවහොත්, ඉන්ධන සහ පෙට්‍රල් මිල ඉහළ යා හැකි අතර, එමගින් ඇමෙරිකාවේ උද්ධමනය තවත් ඉහළ ගොස්, නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත මධ්‍යවාර මැතිවරණයට පෙර ට්‍රම්ප්ට දේශපාලන ගැටලුවක් ඇති විය හැකි ය.
එමගින් ටෙහෙරානයට අවධානය යොමු කළ යුතු පැහැදිලි දිනයක් ලැබෙන නමුත්, ඇමෙරිකානු මැතිවරණ මත යැපීම අවදානම්සහගත ක්‍රියාවකි.
ඒ වන විට ඉරාන ආර්ථිකය මීටත් වඩා දුර්වල තත්ත්වයකට පත්ව තිබිය හැකිය.
මධ්‍යවාර මැතිවරණයෙන් ඔබ්බට ද තවත් ගැටලුවක් තිබේ. 2028 දී යළි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ට්‍රම්ප්ට නොහැකි බැවින්, ඔහුගේ ධූර කාලයේ අවසන් අදියරේ පවතින පරිපාලනයට ඉරානය සමග ගැටුම තවදුරටත් ඉදිරියට ගෙන යමින්, ඒ සඳහා දැරීමට සිදුවන වියදම් සහ බලපෑම් භාර ගැනීමට වැඩි නිදහසක් ඇතැයි හැඟෙන්නට ඉඩ තිබේ.
ඒ අනුව, ඉරානය දැන් ඔරලෝසු දෙකක් ගැන අවධානයෙන් සිටියි.
එකක් වොෂිංටනයේ ක්‍රියාත්මක වන දේශපාලන ඔරලෝසුවකි. අනෙක ඉරානය තුළ ක්‍රියාත්මක වන ආර්ථික ඔරලෝසුවකි. තෙල් අපනයනය අඩුවීම, වෙළෙඳ කටයුතු අඩාල වීම සහ රියාල් මුදල් ඒකකයට එල්ල වන පීඩනය යන කරුණු හේතුවෙන්, යුද්ධය අවසන් කිරීම සඳහා වන ගිවිසුමකට එළඹෙන තෙක් බලා සිටීම වඩාත් අධික පිරිවැයක් දැරීමට සිදුවන කාරණයක් බවට පත්වේ.
ඒ අනුව, ඉරාන නායකයන්ට දැන් මුහුණ දීමට සිදුව ඇත්තේ දුෂ්කර තේරීමකට ය. මේ මොහොතේ [ඇමෙරිකාවේ ඉල්ලීම්වලට] එකඟ වීම පීඩනය හමුවේ යටත් වීමක් ලෙස පෙනී යා හැකි අතර, වොෂිංටනය ඉදිරියේදී තවත් ඉල්ලීම් ඉදිරිපත් කරනු ඇතැයි පවසන දැඩි මතධාරීන්ගේ ස්ථාවරය ද එමගින් ශක්තිමත් විය හැකිය.
බලා සිටීම නිසා ට්‍රම්ප්ගේ උපායමාර්ග දේශපාලනික හෝ ආර්ථික ගැටලු ඇති කළහොත්, ඉරානයට වාසිදායක තත්ත්වයක් උදා විය හැකිය. එහෙත්, පසුකාලීනව දුර්වල ආර්ථිකයක් සමග සාකච්ඡා කිරීමට ටෙහෙරානයට සිදුවිය හැකිය.
දැන් බොහෝ දේ තීරණය වන්නේ ඉරානයෙන් පිටත සිදුවන දේ මත ය.
චීන බැංකු, කලාපීය වෙළෙඳ හවුල්කරුවන් සහ සමාගම් වොෂිංටනයෙන් දඬුවම් ලැබෙනු ඇතැයි බියෙන් ඉරානය සමග ගනුදෙනු සීමා කිරීමට ආරම්භ කළහොත්, බෙසන්ට්ගේ සම්බාධක මෙහෙයුම ටෙහෙරානයේ ගණන් බැලීම වෙනස් කළ හැකිය.
එසේ නොවුණහොත්, ඊට හාත්පසින් ම වෙනස් තත්ත්වයක් ඇති විය හැකිය. සම්මුතියකට එළඹීමට විරුද්ධ ඉරාන පාර්ශවයන් පවසනු ඇත්තේ, වොෂිංටනය තීරණාත්මක බව පැවසූ තවත් පියවරක් ගෙන ඇතත්, බල තුලනය වෙනස් කිරීමට එය සමත් වී නොමැති බවයි. එබැවින්, ඉරානය තවදුරටත් බලා සිටිය යුතු හෝ ප්‍රතිරෝධය දැක්විය යුතු බව ඔවුන් පවසනු ඇත.

































