ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඩොලර් මි. 2.5ක් හැකර් ගිණුමකට බැර කිරීමේ සිද්ධිය ගැන CIDය මෙතෙක් කර ඇත්තේ කුමක් ද?
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 2
ඔස්ට්‍රේලියාවට ගෙවීමට තිබූ ණය වාරිකයක් ගෙවීමේදී මහා භාණ්ඩාගාරයට අයත් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් ගිණුමකට බැහැර කිරීමේ සිද්ධියට අදාළව සිදු කරන විමර්ශනවලට අදාළව ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ තාක්ෂණික කමිටුව රැස්වී දත්ත පිටපත් කරමින් පවතින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ ය.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන වෙත වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම්දී ඇත්තේ, මෙලෙස දත්ත පිටපත් කිරීමේ කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව එම පිටපත් ලබාගෙන විශ්ලේෂණය කොට අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ය.
ඒ සඳහා දිනයක් ලබා දෙන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
ඒ අනුව මෙම පැමිණිල්ල සැප්තැම්බර් මස 05 වන දා යළි කැඳවන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, එදින මෙම සිද්ධියට අදාළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද නියෝග කළේ ය.
වැඩිදුරටත් කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරයේ "සර්වර් එක" තුළ තිබූ දත්ත විශ්ලේෂණය කරමින් සිටින බව සඳහන් කළේ ය.
ඊට අමතරව මේ වන විට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 91 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බවත්, ඒ අතර මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව, රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය සහ මහ බැංකුව යන ආයතනවල නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් අධිකරණයට යොමු කළ වාර්තාවේ සඳහන් වෙයි.