ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'නැත්ත වෙනුවට ඇත්ත': ටිල්වින් සිල්වාට රු. මිලියනයක් නොගෙවා සිටීමට විමල් වීරවංශ කළ ඉල්ලීම ඉවතට
හිටපු අමාත්‍ය විමල් වීරවංශ විසින් රචනා කරන ලද 'නැත්ත වෙනුවට ඇත්ත' නමැති ග්‍රන්ථයේ ඇතුළත් කර තිබෙන ඇතැම් ලේඛනවලින් ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වාගේ බුද්ධිමය දේපළ අයිතිය උල්ලංඝනය කිරීම වෙනුවෙන් ඔහුට රුපියල් මිලියනක වන්දියක් ගෙවන ලෙස විමල් වීරවංශට එරෙහිව කොළඹ වාණිජ මහාධිකරණය විසින් ලබා දී ඇති නියෝගයට එරෙහිව ඔහු ඉදිරිපත් කළ අභියාචනයක් ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජුලි 9 වැනිදා) නිෂ්ප්‍රභ කළේ ය.
කෙසේ වෙතත්, අදාළ ග්‍රන්ථය ප්‍රකාශයට පත් කිරීම, විකිණීම හා බෙදා හැරීම වළක්වාලමින් වාණිජ මහාධිකරණය නිකුත් කළ තහනම් නියෝගය වෙනස් කිරීම්වලට ලක් කරන බවත් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයේ සඳහන් විය.
ඒ අනුව, අදාළ තහනම් නියෝගය එම ග්‍රන්ථයේ ඇතුළත් කර තිබෙන වග උත්තරකාර ටිල්වින් සිල්වාගේ ලේඛනවලට පමණක් පමණක් සීමා කරන බවත් නියෝගයේ දැක්විණි.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ජනක් ද සිල්වා, සම්පත් අබේකෝන් යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න තීන්දුව ප්‍රකාශයට පත් කළේ ය.
බුද්ධිමය දේපළ පිළිබඳ අයිතිය උල්ලංඝනය කර ඇති බවට ටිල්වින් පැවරූ නඩුව
අදාළ ග්‍රන්ථය ප්‍රකාශයට පත් කිරීමේදී විමල් වීරවංශ ජනතා විමුක්ති පෙරමුණේ ලේඛන ගණනාවක් ඊට ඇතුළත් කරගෙන ඇති බවත් ඒ තුළින් සිය බුද්ධිමය දේපළ පිළිබඳ අයිතිය උල්ලංඝනය කර ඇති බවත් සඳහන් කරමින් ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා විසින් වාණිජ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබිණි.
එම නඩුව විභාග කළ කොළඹ වාණිජ මහාධිකරණය මේ තුළින් පැමිණිලිකාර ටිල්වින් සිල්වාගේ බුද්ධිමය දේපළ අයිතිය උල්ලංඝනය වී ඇති බවත් ඒ වෙනුවෙන් රුපියල් මිලියනයක වන්දියක් ටිල්වින් සිල්වාට ගෙවන ලෙසත් විමල් වීරවංශට නියෝග කර තිබිණි.
පොතේ තහනමට සංශෝධන
එම තීන්දුවට එරෙහිව විමල් වීරවංශ මෙම විශේෂ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළේ ය.
එම අභියාචනය විභාග කර තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු මඩුල්ල මෙම වගඋත්තරකරුට රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙස වාණිජ මහාධිකරණය විසින් පෙත්සම්කරුට දී ඇති නියෝගය සම්බන්ධයෙන් සිය අධිකරණය මැදිහත්වීමක් නොකරන බව ප්‍රකාශ කළේ ය.
වාණිජ මහාධිකරණ විනිසුරුවරයා නිවැරදි ලෙස කරුණු අධ්‍යයනය කරමින් එම තීරණය ලබා දී ඇතැයි විනිසුරු මඩුල්ල සඳහන් කර සිටියේ ය.
කෙසේ වෙතත් පෙත්සම්කරුගේ ග්‍රන්ථය ප්‍රකාශයට පත් කිරීම, විකිණීම හා බෙදා හැරීම වළක්වාලමින් වාණිජ මහාධිකරණය දී ඇති අතුරු නියෝගය වෙනස් කිරීම්වලට ලක් කරන බව සඳහන් කළ විනිසුරු මඩුල්ල ඒ අනුව අදාළ තහනම් නියෝගය අදාල ග්රන්ථයට ඇතුළත් කර තිබෙන වග උත්තරකාර ටිල්වින් සිල්වාට අයත් ලේඛන වලට පමණක් සීමා කිරීමත් නියෝග කළේ ය.