පොහොට්ටුවේ මහ ලේකම් සාගර කාරියවසම් අත්අඩංගුවට ගත්තේ ඇයි?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම්

ඡායාරූප මූලාශ්‍රය, SLPP Media

Published
කියවීමේ කාලය: මිනිත්තු 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් පවසයි.

පොලිස්පතිවරයා පිළිබඳව කළ ප්‍රකාශයක් සම්බන්ධව අද (අගෝස්තු 10) මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණි අවස්ථාවේදී එලෙස ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි.

අත්අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා බීබීසී සිංහල වෙත තහවුරු කළේ ය.

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් කළ ප්‍රකාශය කුමක් ද?

ඉකුත් සතියේදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසා තිබුණේ, වත්මන් පොලිස්පතිවරයා මහ පාරේ මිනිසුන්ගෙන් ගුටි කා මිය යන පොලිස්පතිවරයා ලෙස ඉතිහාස ගතවනවා දැකීමට අකමැති බව ය.

"හිටපු පොලිස්පතිවරුන් තුන් දෙනෙක්ට ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුව යටතේ ඉතා ඛේදනීය ඉරණම් තුනකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ඒ වගේ ම අපි වත්මන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරියට ඉතා ම ගෞරවයෙන් කියා සිටිනවා ඔබතුමා දැන්වත් ආණ්ඩුවට සේවය කරන එක නවත්තලා රජයට සහ ජනතාවට සේවය කරන එක පටන් ගන්න. මොක ද අපි කැමති නැහැ මහ පාරේ මිනිස්සුන්ගෙන් ගුටි කාලා මැරිච්ච පොලිස්පතිවරයා හැටියට 37 වෙනි පොලිස්පතිවරයා ඉතිහාසගත වෙනවට," ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා පවසා තිබිණි.

'සැලසුම්සහගතව කියපු ප්‍රකාශයක් බව තමයි අපට පේන්නේ'

මේ අතර, පසුගිය සතියේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු විසින් ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස කියා සිටියේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා විසින් පොලිස්පතිවරයා සම්බන්ධයෙන් කළ ප්‍රකාශය හිතාමතා සැලසුම්සහගතව කළ ප්‍රකාශයක් බවට පෙනී යන බවය.

එමෙන් ම, යම් පක්ෂයක මහ ලේකම්වරයෙකු සිදුකරන ප්‍රකාශයක් ඉතා බරපතළ ලෙස සැලකිය යුතු බව ද අමාත්‍ය නලින්ද ජයතිස්ස එහිදී පැවසුවේ ය.

"ඒ ප්‍රකාශයන්ගෙන් ගම්‍ය වෙන්නේ මේ පොලිස්පතිවරයා මහ මගදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් යම් ඉඟියක් හිටපු මන්ත්‍රීතුමා සාගර කාරියවසම් ලබා දෙනවා කියනවා එක යි. ඒක ඉතා ම බරපතළ ප්‍රකාශයක්."

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

"මොක ද වර්තමානයේ පොලිස්පතිවරයා මේ අපරාධ සම්බන්ධයෙන් වේගයෙන් පොලිසිය මෙහෙයවමින් ඉන්නවා. පාතාලය මර්දනය කරන්න, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගන්නවා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීම් වැඩි වෙන්නේ නිකම් නෙමෙයි. මේ මත්ද්‍රව්‍ය සහ පාතාලයට එරෙහිව පොලිසිය විසින් ගන්නා ක්‍රියාමාර්ග. ඒ ඔස්සේ අත්අඩංගුවට ගැනීම් බන්ධනාගර ගත කිරීම් වැඩි වෙනවා."

"එවැනි තත්ත්වයකදී පාතාලයට, මත්ද්‍රව්‍ය ජාවාරමට, කළු සල්ලි ජාවාරමට, දූෂිත දේශපාලනයට එරෙහිව පොලිස්පතිවරයාගේ පැත්තෙන් තමන්ගේ ආයතනය තමන්ගේ නිලධාරීන් මෙහෙයවමින් සිටියදී යම් කිසි පක්ෂයක මහ ලේකම්වරයෙක් නැත්නම් හිටපු මන්ත්‍රීවරයෙක් කියනවානම් පොලිස්පතිවරයා මහ මගදී ඝාතනය වෙනවා වගේ ප්‍රකාශයක් ඒක බරපතළ යි."

"මම දැක්කා මහජන ආරක්ෂක ඇමතිතුමාත් කියනවා ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරනවා කියලා. අනිවාර්යෙන් ම ඒ ගැන පරීක්ෂණයක් කළ යුතු යි. මොක ද මේ ප්‍රකාශය වචන කියලා බැහැර කරන්න බැහැ.

ඔහු නිකම් තැනක කිව්වා නෙමෙයි මාධ්‍ය හමුවකදී බොහොම හොඳින් හිතාමතා සැලසුම්සහගතව කියපු ප්‍රකාශයක් බව තමයි අපට පේන්නේ සහ රජය තේරුම් ගන්නේ. ඉතින් පොලිස්පතිවරයා මහ මගදී ඝාතනය කරනවා වගේ ප්‍රකාශයක් කරනවා නම් ඊට පසුබිම් වෙන කතන්දරය ගැනත් විමර්ශනය කරන්න පොලිසියට සිදුවේවි."