'IT රැකියා කප්පාදුවේ කම්පනය මා රෝහලක ඇඳක් මතට ඇද දැමූ හැටි'

    • Author, තාරක සම්මාන්
    • Role, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 10

රෙහාන් මීට මාස කිහිපයකට පෙර ලොව ප්‍රමුඛ පෙළේ තොරතුරු තාක්ෂණ සමාගමක රැකියාවක නිරත වූ තරුණයෙකි.

ඔහු ආකර්ෂණීය මාසික වැටුපකට ද හිමිකම් කීවේ ය. ක්ෂේත්‍රයේ සිටින තම සගයින් මෙන් ඔහුට ද මූල්‍යමය වශයෙන් යහපත් ජීවන රටාවක ප්‍රතිඵල භුක්ති විඳීමට හැකියාව තිබිණි.

නමුත් තම වෘත්තීය ජීවිතයේ උන්නතිය වෙනුවෙන් වෙනසක් අපේක්ෂාවෙන් ගත් තීරණයක් දැන් ඔහුගේ ජීවිතය උඩුයටිකුරු කර තිබේ.

"දැනට ඉතුරු කරලා තියෙන සල්ලිවලින් ත්‍රීවීල් එකක් අරන් Uber හරි PickMe හරි දුවන්න තමයි හිතන් ඉන්නේ," රෙහාන් බීබීසී සිංහල සමග පැවසීය.

මෙය වර්තමානයේ රෙහාන් පමණක් මුහුණ දෙන "අවාසනාවන්ත අත්දැකීමක් නොව, ගෝලීය වශයෙන් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියාවේ නිරත බොහෝ වෘත්තිකයින් මුහුණ දෙන තත්ත්වයකි.

දිගින් දිගට ම සිදුවන රැකියා සහ වේතන කප්පාදු කිරීම් හමුවේ ඔවුන්ට තම ජීවිත නැවත හැඩගස්වා ගැනීමට බල කෙරී ඇත. ඇතැමෙකුට රෙහාන්ට මෙන් තම ජීවන රටාව වෙනස් කිරීමටද සිදුව තිබේ.

අනපේක්ෂිත රැස්වීම

මීට මාස කිහිපයකට පෙර රෙහාන් තම රැකියා ස්ථානය වෙනස් කිරීමට තීරණය කළේ, එහි වූ "ඒකාකාරී බව" නිසා ය. වෙනසක් අපේක්ෂා කළ ඔහු සිය ක්ෂේත්‍රය තුළ ම වෙනත් රැකියා අවස්ථා සොයමින් සිටියේ ය.

නමුත් ඔහුට මෙම තීරණය ගැනීම පහසු දෙයක් නොවිණි. තමන් "මෙතරම් හොඳ රැකියා ස්ථානයකට සමුදීමට තීරණය කළේ ඇයි?" ද යන්න ගැන බොහෝ දෙනෙක් ප්‍රශ්න කළහ.

කෙසේ හෝ තම උත්සහයේ ප්‍රතිඵලයක් ලෙස ඔහුට මෙරට ප්‍රධාන පෙළේ තොරතුරු තාක්ෂණ සමාගමකට සම්බන්ධ වීමට හැකියාව ලැබිණි.

"හැබැයි මම ඉල්ලපු පඩිය එයාලට දෙන්න බැහැ, ඊට වඩා අඩු පඩියකින් තමයි පටන් ගන්න වෙන්නේ කියලා කිව්වා. ඒකටත් මම ඕකේ වුණා. ඊට පස්සේ මම අර ආයතනයට අස්වීමේ ලියුම දීලා, මේ ආයතනයට සම්බන්ධ වුණා," ඔහු බීබීසී සිංහල සමග පැවසීය.

ඔහු සාමාන්‍ය පරිදි තම නව රැකියාවේ කටයුතුවල නිරතව සිටි නමුත් දිනක් සේවා කටයුතු නිම වී නිවස බලා යාමට සූදානම් වූ මොහොතේ ඔහුට විශේෂ රැස්වීමක් සඳහා කැඳවීමක් ලැබිණි. ඒ වන විට ඔහු නව රැකියාවට සම්බන්ධ වී ගතව තිබුණේ සති දෙකකට ආසන්න කාලයක් පමණි.

"ඒගොල්ලෝ මෙහෙම තමයි කිව්වේ, 'සභාපති තීරණයක් අරගෙන තියෙනවා ප්‍රෝබේෂන් ඉන්න කට්ටිය ඔක්කො ම අයින් කරන්න," රෙහාන් පැවසීය.

"ඒක මට ලොකු කම්පනයක් වුණා. මට නීත්‍යනුකූලව මුකුත් කරන්න බැහැ. ඒ අය යන්න කිව්වා ම මට යන්න වෙනවා [ප්‍රෝබේෂන් නිසා]. ඒක සේවා ගිවිසුමෙත් තියෙනවා, පත්වීම් ලිපියවත් ඒ වෙනකම් අත්සන් කරලා තිබ්බේ නැහැ" ඔහු තමන් මුහුණ දුන් අමිහිරි අත්දැකීම ගැන ආවර්ජනය කළේ ය.

රැකියා ස්ථානයෙන් රෝහලට

රෙහාන් බීබීසී සිංහල සමග පැවසූ පරිදි ඔහුට මෙම කම්පනය දරා ගත නොහැකි වී තිබේ. ඔහුගේ ගැස්ට්‍රයිටිස් රෝගී තත්ත්වය උග්‍ර වී වෙන දා ලබා ගන්නා ඖෂධ ලබා ගත්ත ද තත්ත්වය යහපත් නොවුණු බැවින් ඔහු රෝහලක් වෙත යාමට තීරණය කළේ ය.

"මට නොදැනි ම ඩයරියා පවා පාස් වෙලා. මට සාමාන්‍යයෙන් ගැස්ට්‍රයිටිස් තියෙනවා. [ඒ තත්ත්වය වැඩි වෙලා] මම ඒ වේලාවේ සාමාන්‍යයෙන් ඒ වෙලාවට බොන බෙහෙත් ටික ගත්තා. ඒක හරි ගියේ නැහැ. ඊට පස්සේ රෝහලට ගියා.

"එතැනදි කිව්වා බොන බෙහෙත් විතරක් දීලා හොඳ කරන්න බැහැ, රෝහල්ගත වෙන්න වෙනවා කියලා. ඒ අය IV දීලා, පැය 24ක් විතර තියාගෙන ඉඳලා තමයි ඩිස්චාජ් කළේ," රෙහාන් බීබීසී සිංහල සමග පැවසීය.

බලාපොරොත්තු ගොන්නක් සමග තම වෘත්තීය ජීවිතයේ යහපත් වෙනසක් වෙනුවෙන් ගත් ඔහුගේ තීරණය එලෙස නොසිතු කම්පනයින් අවසන් විය.

රෙහාන් තම රෝගී තත්ත්වය පිළිබඳව රැකියා ස්ථානයට දැනුම් දුන් අතර, ඒ අනුව ඔහුට ඔහු රැකියාවේ නිරත වූ සති දෙකක කාලයට අදාළ වේතනය වෙනුවට මාසයකට අදාළ වේතනය ගෙවීම සිදු විය. තම නව රැකියාව වෙනුවෙන් "විශේෂයෙන් ම" මැසූ ඇඳුම්-ආයිත්තම් දැන් ඔහුගේ ඇඳුම් අල්මාරියට පමණක් සීමා වී තිබේ.

මෙම සිදුවීමෙන් යම් කාලයකට පසු ඔහු තම අත්දැකීම LinkedInහි අනෙක් සාමාජිකයින් සමග බෙදා ගැනීමට තීරණය කළේ ය.

"මම ඒක දැම්මේ අනිත් අයටත් තේරුම් ගන්න, ලේ ඕෆ්ස්වල දී, මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක ඒගොල්ලෝ සෙල්ලම් කරන්නේ කියලා කියන්න," ඔහු පැවසීය.

'ඒ වගේ දේවල් වෙන එක අවාසනාවන්ත තත්ත්වයක්'

පෞද්ගලිකසමාගම් තම "පැවැත්ම දෙස සහ ලාභය දෙස බැලීම සාමාන්‍ය දෙයක්" වුව ද මෙවැනි සිදුවීම් වීම "අවාසනාවන්ත තත්ත්වයක්" ලෙස දකින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ අධ්‍යයනාංශයේ මහාචාර්ය ලසිත් ගුණවර්ධන බීබීසී සිංහල සමග සංවාදයට එක් වෙමින් පැවසීය.

ඔහු BCS (British Computer Society), තොරතුරු තාක්ෂණය පිළිබඳ වරලත් ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරන අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ අධ්‍යයනාංශයේ හිටපු අධ්‍යයනාංශ ප්‍රධානී ද වෙයි.

"නීත්‍යනුකූලව සමාගම් කරන දේට ඇඟිල්ල දිගු කරන්න බැහැ. හැබැයි මානුෂීය නොවී ඒ වගේ දේවල් වෙන එක අවාසනාවන්ත තත්ත්වයක් කියලා මම හිතනවා," ඔහු සඳහන් කළේ ය.

"ඕනෑ ම ආයතනයකට දිගුකාලීනව මිනිසුන්ට වැටුප් ගෙවන්න නම් ආදායමක් තිබිය යුතුයි. ව්‍යාපාරයකට ආදායම වැඩි කිරීම මෙන් ම වියදම් කළමනාකරණය කිරීම ද වැදගත්. ඒ නිසා හැම ආයතනයක් ම ඒ වියදම් අඩු කරන්නේ කොහොම ද කියලා බලනවා.

"තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සේවක වැටුප් කියන්නේ ආයතනවල ප්‍රධාන වියදම් අතර එකක්. තරගකාරී වෙළෙඳපොළ ආර්ථිකයක කාර්යක්ෂමතාව වැඩි කිරීමේ උත්සහයේදී, සමහර අවස්ථාවල ශ්‍රම බළකායේ අඩුවීමක් හෝ අතිරික්ත සේවක කොටස් ඉවත් කිරීමක් සිදුවෙන්න පුළුවන්," මහාචාර්යවරයා පැහැදිලි කළේ ය.

මීට සමාන අදහසක් මතු කළ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ව්‍යවසායකයෙකු වන අඳුන් සමීර ලියනගුණවර්ධන බීබීසී සිංහල සමග පැවසුවේ, සමාගමක "පැවැත්ම සහ තීරණ සියල්ල ම එහි ආදායම මත තීරණය වන" බව ය.

ඔහු Emojot තොරතුරු තාක්ෂණ ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මෙන් ම මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ බාහිර කථිකාචාර්යවරයෙකු මෙන් ම කර්මාන්ත උපදේශකවරයෙකු ලෙස ද කටයුතු කරයි.

"IT කියන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවලට ඍජුව සේවා සපයන කර්මාන්තයක් නෙමෙයි. රෝහලක් රෝගීන්ට සේවා සපයනවා. මූල්‍ය සමාගමක් ණය සහ ආයෝජන කරනවා. ඇඟලුම් සමාගමක් ඇඳුම් නිර්මාණය කරනවා.

"IT කියන්නේ ඒ හැම කර්මාන්තයක් ම තව කාර්යක්ෂම කරන්න, තව හොඳ සේවාවක් හෝ නිෂ්පාදනයක් හදන්න උදව් කරන ආධාරක ක්ෂේත්‍රයක්," ඔහු පැහැදිලි කළේ ය.

කොවිඩ් සහ වත්මන් අර්බුදය

කොවිඩ්-19 වසංගතයත් සමග තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ සැලකිය යුතු පිබිදීමක් සිදු වූ බව නොරහසකි.

රැකියා ස්ථානයක් වෙත නොගොස් දූරස්ථව රාජකාරී කිරීමේ පුරුද්ද එම ක්ෂේත්‍රයේ පමණක් නොව වෙනත් ක්ෂේත්‍රවලට ශීඝ්‍රයෙන් ප්‍රචලිත වන්නට විය.

මහාචාර්ය ලසිත් ගුණවර්ධන පෙන්වා දෙන්නේ, එයත් සමග තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා වැඩි වුණු බව ය.

"ඒ කාලයේ තිබුණු සංචරණ සීමා සහ වෙනත් ගැටලු නිසා 'work from home' ක්‍රමය ප්‍රායෝගික විසඳුමක් වුණා. දූරස්ථව රැස්වීම්වලට සම්බන්ධ වීම සඳහා Zoom වැනි සේවා සහ දූරස්ථව වැඩ කිරීමේ සංස්කෘතිය පිළිගැනීමත් එක්ක, ලංකාවේ ඉඳන් ම ගෝලීය සමාගම් සඳහා වැඩ කිරීමේ අවස්ථා තිබෙන බව වැඩි පිරිසකට අවබෝධ වුණා.

"සමාගම් සහ සමස්ත තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය ම ඒ අවස්ථා ගැන උනන්දු කළා. මේ ක්ෂේත්‍රයට කැමති ශිෂ්‍යයකුට වුණත්, වෙනත් ක්ෂේත්‍රවලට සාපේක්ෂව IT ක්ෂේත්‍රයේ තිබෙන අවස්ථා ගැන අපි පෙන්වා දුන්නා," ඔහු පැවසීය.

"කොවිඩ් සමයේදී ඩිජිටල් සේවා සඳහා ඇති ඉල්ලුමේ වැඩිවීම හරහා Microsoft, Facebook, Amazon වැනි විශාල ගෝලීය සමාගම්වල සිට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සමාගම් බොහොමයක් සේවක බඳවා ගැනීම් වැඩි කළා," මහාචාර්යවරයා පෙන්වා දුන්නේ ය.

එලෙස වෙනත් ක්ෂේත්‍රවල ඩිජිටල් පරිවර්තනය තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ වර්ධනයට හේතු වුව ද අඳුන් සමීර ලියනගුණවර්ධන සඳහන් කළේ, කොවිඩ් වසංගතයත් සමග ලෝකයේ ප්‍රධාන ව්‍යාපාර බොහොමයක ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වුණු බව ය.

"කොවිඩ්වලින් පස්සේ ලෝකයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාර බොහොමයක ආදායම අඩු වුණා. ඇඟලුම් ක්ෂේත්‍රයේ ඉල්ලුම අඩු වුණා. ප්‍රවාහන කටයුතු අඩු වුණා. ඉන්ධන භාවිතය අඩු වුණා. සැපයුම් දාමවල ගැටලු ඇති වුණා.

"ඊට පස්සේ යුක්‍රේන යුද්ධය ආවා. ගල්ෆ් කලාපයේ ගැටලු ආවා. ලෝක ආර්ථිකයේ අවිනිශ්චිතතාව වැඩි වුණා. ඒ නිසා සාමාගම්වල ආයෝජන ප්‍රමුඛතා වෙනස් වුණා."

ඔහු පෙන්වා දුන්නේ, එම තත්ත්වයත් සමග තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ආයෝජන අඩු වුණු බව ය.

වෙනත් ක්ෂේත්‍ර ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘති සඳහා වෙන් කර තිබුණු මුදල් අඩු කිරීමත් සමග තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සේවා සහ නිෂ්පාදන සඳහා තිබුණු ඉල්ලුමට එය ඍජුව බලපෑ බව ඔහු පැහැදිලි කළේ ය.

"මේ මූල්‍යමය යථාර්ථය තේරුම් ගත්තොත් IT ක්ෂේත්‍රයට වෙලා තියෙන දේ තේරුම් ගන්න හරි ලේසියි," ඔහු පැවසීය.

කොවිඩ් වසංගත සමයේ පැවති ඉල්ලුම වැඩිවීම එක තිරසර වර්ධනයක් නොවන බවත් එය කාලයත් සමග අඩු වුණු බවත් මහාචාර්ය ලසිත් ගුණවර්ධන පෙන්වා දුන්නේ ය.

"සමහර ආයතන 'work from home' ක්‍රමයෙන් ඉවත් වුණා. ඒ නිසා ශ්‍රම බළකාය අඩුවීමක් සිදුවුණා. උදාහරණයක් විදිහට Facebook වගේ සමාගම් කොවිඩ් කාලයේදී විශාල ලෙස සේවකයින් බඳවා ගත්තත් පස්සේ ශ්‍රම බළකායෙන් හතරෙන් එකක් විතර ප්‍රමාණයක් අඩු කළා," ඔහු පැහැදිලි කළේ ය.

AI විප්ලවය

කෘත්‍රිම බුද්ධියේ ආගමනය ද තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ මෙම නව තත්ත්වයට හේතු වී ඇති බව බීබීසීය සමග සංවාදයේ නිරත වූ විශේෂඥයින් දෙදෙනා ම පිළිගනිති.

"AI විප්ලවයත් එක්ක සමාගම්වලට තේරුණා ඉස්සර වගේ මානව හැකියාව [human capacity] හැම වෙලාවෙ ම අවශ්‍ය නැහැ කියලා," අඳුන් සමීර ලියනගුණවර්ධන පැවසීය.

එහි ප්‍රතිඵලයක් ලෙස පුනරාවර්තන කාර්යයන් [repetitive tasks] බොහොමයක් ස්වයංක්‍රීය කිරීමට හැකිව ඇති බව ඔහු සඳහන් කළේ ය.

මහාචාර්ය ලසිත් ගුණවර්ධන පෙන්වා දුන්නේ, ඉන් ලැබෙන ප්‍රතිලාභය මගින් පුනරාවර්තන කාර්යයන් කරන පහළ මට්ටමේ සේවකයින් [lower-level employees who do repetitive tasks] සහ සීමාවාසිකයින් [interns] සිදු කළ ඇතැම් කාර්යයන් අඩු වියදමින් කර ගැනීමට හැකි තත්ත්වයක් නිර්මාණය වුණු බව ය.

"තොරතුරු තාක්ෂණ සමාගම් බලන්නේ ගුණාත්මකභාවයට හානියක් නොකර AI භාවිතයෙන් මෘදුකාංග සංවර්ධකයින් ගණන අඩු කරලා වැඩ කරන්න පුළුවන් ද කියලා. එහෙම පුළුවන් නම් කොස්ට් එක අඩු කරන්න ඔවුන් තීරණ ගන්නවා," ඔහු පැවසීය.

"ඒ නිසා සමාගම් බලනවා ඉස්සර මිනිස්සු පස් දෙනෙක් කළ වැඩේ දැන් තුන් දෙනෙක්ගෙන් කරන්න පුළුවන් ද කියලා," අඳුන් සමීර ලියනගුණවර්ධන පෙන්වා දුන්නේ ය.

"2022 ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය අතරතුර යම් සමාගම් තමන්ගේ වැටුප් ඩොලරයට සම්බන්ධ කර ඇති බව ප්‍රවර්ධනය කළා," මහාචාර්යවරයා සඳහන් කළේ ය.

ඔහු පෙන්වා දුන්නේ, කොවිඩ් සමයේ සිදුවුණු වර්ධනය හා ඉන් පසුව ඇති වූ ස්වභාවික සංකෝචනය මෙන් ම කෘත්‍රිම බුද්ධිය භාවිතය නිසා අද වන විට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ "ආකර්ෂණීය බව යම් ප්‍රමාණයකින් අඩු වී" ඇති බව ය.

අනාගතය දෙස බැලීමේදී කෘත්‍රිම බුද්ධිය භාවිතයේ ඵලදායිතාව සම්බන්ධයෙන් ගත් කල ප්‍රතිලාභ ඉහළ බව මහාචාර්යවරයා පැවසීය.

'මිනිස්සුන්ට මිනිස්සු විදිහට සලකන්න'

රෙහාන්ට තම රැකියාව අහිමි වී තෙමසකට ආසන්න කාලයක් ගත වී තිබේ. තමන් කලක් තම කාලය සහ ශ්‍රමය කැප කළ කර්මාන්තය තුළ තමන්ට අත්වූ ඉරණම ගැන දැන් ඔහුට අවබෝධයක් පවතියි.

"එයාලා ඇති කරන හැඟීම තමයි AI නිසා තමයි ලේ ඕෆ්ස් වෙන්නේ කියලා. හැබැයි මම ළඟදිත් LinkedIn එකේ ආටිකල් එකක් දැක්කා, ගොඩක් සමාගම් එයාලගේ ලාභ වැඩි කර ගන්න, දෙන්නෙක් තුන්දෙනෙක් කරපු වැඩ එක්කෙනෙකුට දම්මලා කර ගන්න තමයි මේ උත්සහ කරන්නේ කියලා," ඔහු පැවසීය.

නමුත් ඔහු සමාගම් වෙත මූල්‍යමය අරමුණුවලට ඔබ්බෙන් ඇති, බොහෝ දෙනෙකුට නොපෙනෙන "මානුෂීය බව" ගැන පණිවිඩයක් ඉදිරිපත් කරයි.

"සමාගම්වලට මට කියන්න තියෙන්නේ, ඔයාලා ඉන්න සේවකයෝ අයින් කරනවා නම්, තව ගන්න යන්න එපා."

"එහෙම ලේ ඕෆ් එකක් වෙන්න ඉඩක් තියෙනවා නම්, රැකියා අවස්ථා තියෙනවා කියලා දාලා, බලාපොරොත්තු දීලා ගන්නවා කියන්නේ එතන මානුෂීය බව නැතිවෙලා තියෙනවා. මිනිස්සු කියන්නේ ඕනේ වෙලාවක අයින් කරන්න පුළුවන් නිකම් භාණ්ඩයක් නෙවෙයි, ඒක හරි වැරදියි."

"මිනිස්සුන්ට මිනිස්සු විදිහට සලකන්න," ඔහු කම්පනසහගත ස්වරයකින් පැවසීය.

රෙහාන් පමණක් නොව සමාජ මාධ්‍ය පිරික්සා බැලීමේදී මෙවැනි අත්දැකීම්වලට මුහුණ දී ඇති තවත් තොරතුරු තාක්ෂණ වෘත්තිකයින් සිටින බව පැහැදිලි වේ. ඇතැමෙකුට රෙහාන්ට මෙන් වෙනත් අදායම් මාර්ග දෙස හැරී බැලීමට බල කෙරී ඇත.

අනාගත අවස්ථා

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ කේත ලිවීම ආශ්‍රිත රැකියා අවස්ථා වර්තමානයේ යම් ප්‍රමාණයකින් අඩු වී තිබුණ ද නව රැකියා අවස්ථා නිර්මාණය වීම නොනවත්වා සිදුවන බව මහාචාර්ය ලසිත් ගුණවර්ධන පෙන්වා දුන්නේ ය.

ඊට හේතුව ලෙස ඔහු පෙන්වා දුන්නේ, තොරතුරු තාක්ෂණය භාවිත කරන සහ ඩිජිටල්කරණය සිදුවන ව්‍යාපාර ගණන දිනෙන් දින ඉහළ යාම බව ය.

"තොරතුරු තාක්ෂණය ආශ්‍රිත ව්‍යවසායකත්ව අවස්ථා බහුලව තියෙනවා, විශේෂයෙන් කැමැත්ත, හැකියාව සහ අභියෝග ගන්න කැමති අයට," ඔහු පැවසීය.

"හැබැයි HTML page එකක් හදන්න හෝ පොඩි Java code කෑල්ලක් ලියන්න තිබුණු ජොබ්ස් අද නැහැ. අලුත් අවස්ථා එනවා. ඒ අවස්ථා මොනවා වෙයි ද කියලා අද කියන්න අමාරුයි. වෙනස ඉතා වේගවත්," ඊට සමාන අදහසක් පළ කරමින් අඳුන් සමීර ලියනගුණවර්ධන සඳහන් කළේ ය.

"ඒ නිසා හැම වෙලාවෙ ම යාවත්කාලීන වෙමින්, අනුගත [නව ප්‍රවණතාවලට] වෙමින් ඉන්න පුළුවන් කෙනෙකුට IT සෙක්ටර් එකේ ඉස්සරහටත් අවස්ථා තියෙනවා," ඔහු පැවසීය.

නමුත් "අපි හැමදා ම කියපු දෙයක් තමයි ලොකු පඩි ගෙවන සමාගම් හැම වෙලාවෙ ම තිරසර [sustainable] වෙයි කියලා හිතන්න එපා. හයි රිටර්න් එකක් තිබුණොත් හයි රිස්ක් එකත් තියෙනවා," අඳුන් සමීර ලියනගුණවර්ධන පෙන්වා දුන්නේ ය.

"ඇග්‍රස්ව් ඉන්වෙස්ට්මන්ට් [aggressive investment] කරලා ග්‍රෝත් [growth] එක පස්සේ යන සමාගම්වල අවදානම වැඩියි. "ටැලන්ට් ෂෝටේජ් එක තිබුණු කාලේ සමහර සමාගම් සාමාන්‍ය මාකට් රේට් එකට වඩා දහ ගුණයක්, පහළොස් ගුණයක් වගේ පඩි ගෙව්වා."

"මිනිස්සු ඒ තැන්වලට ඇදී ගියා. පස්සේ සමාගම මූල්‍යමය වශයෙන් පීඩනයට ලක් වුණා ම අමාරු තීරණ ගන්න සිද්ධ වුණා," ඔහු පැහැදිලි කළේ ය.

විශේෂඥයින් දෙදෙනා ම සඳහන් කළේ, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය වේගයෙන් වෙනස්කම්වලට භාජනය වන ක්ෂේත්‍රයක් බව ය.

එබැවින් ඊට පිවිසෙන කෙනෙකු අනිවාර්යයෙන් ම "ජීවිත කාලය පුරා ම ඉගෙන ගන්නා අයෙකු" විය යුතුයි යන්න ඔවුන් දෙදෙනාගේ මතය විය.

"ක්ෂේත්‍රයේ සිදුවන වේගවත් වෙනස්කම් හේතුවෙන් අපි පළමු අවුරුද්දේ උගන්වන දේ, ශිෂ්‍යයෙක් අවසන් අවුරුද්දේ උපාධිය ගන්නකොට ක්ෂේත්‍රයේ භාවිත නොවෙන්න පුළුවන්. තමන් හැම වෙලාවේ ම අලුත් දේවල් ඉගෙන ගන්න උනන්දුවක් තියෙන කෙනෙක් නම්, ඕනෑ ම අභියෝගයකට හැඩගැහෙන්න පුළුවන්."

"ඔබ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ දෙමව්පියන්ගේ බලපෑමට හෝ ඩොලර් උපයන්න පුළුවන් කියන නිසා පමණක් නම්, එවැනි කෙනෙකුට මේක අභියෝගයක්, නමුත් ඔබට තොරතුරු තාක්‍ෂණය සහ ගැටලු විසඳීම කෙරෙහි සැබෑ උනන්දුවක් තිබේ නම් ඔබට සාර්ථකත්වයට ළඟා විය හැකියි," මහාචාර්ය ලසිත් ගුණවර්ධන අවධාරණය කළේ ය.

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ කර්මාන්තය තුළ පවතින "ප්‍රශ්නය විසඳීමට" සමාගම් සේවා සැපයීමට පමණක් සීමා නොවී ගෝලීය වශයෙන් අලෙවි කළ හැකි නිෂ්පාදන නිපදවන සමාගම් ගණන වැඩි කළ යුතු බව අඳුන් සමීර ලියනගුණවර්ධන පෙන්වා දුන්නේ ය.

'අපි ගත කරපු ජීවන රටාවත් ඩවුන්ග්‍රේඩ් කරන්න වෙනවා ජීවත් වෙන්න'

රෙහාන් දැන් නව බලාපොරොත්තුවක් වෙනුවෙන් කටයුතු කරමින් සිටියි.

ඔහු ව්‍යාපාරයක් ඇරඹීමේ බලාපොරොත්තුවෙන් පසුවන අතර දැනට ඔහු සතු මුදල්වලින් ත්‍රිරෝද රථයක් ගැනීමේ අපේක්ෂාවෙන් ද පසුවෙයි.

"පැය 8ක් විතර Uber, PickMe දුවලා බිල් ටික හරි ගෙවාගන්න පුළුවන් ගාණක් හොයාගන්න තමයි දැනට හිතන් ඉන්නේ. අපිට ඒක තමයි දැන් කරන්න වෙලා තියෙන්නේ," ඔහු බීබීසී සිංහල සමග පැවසීය.

රැකියාව අහිමි වීමත් රට තුළ පවතින ආර්ථික තත්ත්වය හමුවේ ජීවන වියදම ඉහළ යාමත් තමන් මීට පෙර ගත කළ ජීවිතය ගත කිරීමට ඉඩ නොදෙන බව රෙහාන් පවසයි.

"මම නාගරික මධ්‍යම පන්තියේ කෙනෙක්. ඒත් ලයිට් බිල් ගණන් වැඩි කළා. ඒ දේවල් එක්ක අපි ගත කරපු ජීවන රටාවත් ඩවුන්ග්‍රේඩ් කරන්න වෙනවා ජීවත් වෙන්න."

"දැන් අපේ ගෙදර AC තිබ්බත්, අපි AC ඕන් කරන්නේ නැහැ, ෆෑන් දාගෙන ඉන්නේ."

"දැන් ක්ෂේත්‍රයේ තත්ත්වය අනුව, ජොබ් එකක් කියන්නේ ඉස්සර හිතපු සුවපහසු දෙයක් නෙවෙයි. දැන් ජොබ් එකක් අනාරක්ෂිතයි. මගේ අදහස, මම වැරදි වෙන්න පුළුවන්, ජොබ් එකක් කරලා මහත්තයෙක් වගේ ඉන්න සංකල්පයෙන් අයින් වෙලා, අපි අපේ ම ජීවිතය පාලනය කරන්න පටන් ගන්න ඕනේ. ව්‍යාපාරයක් කරලා හරි, ෆ්‍රීලාන්ස් වැඩ කරලා හරි," ඔහු බීබීසීය සමග කළ සංවාදය අවසන් කරමින් සඳහන් කළේ ය.