ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ව්‍යවස්ථාවට සිදුවිය හැකි වෙනස්කම් මොනවා ද?
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 4
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.
ඊට අදාළ පනත් කෙටුම්පත ඇතුළත් ගැසට් පත්‍රය අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදි 2026 අගෝස්තු 07 වන දා නිකුත් කෙරිණි.
2022 වසරේදී ද ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා 22 වන සංශෝධනයක් ඉදිරිපත් විය. එය වැඩි ඡන්දයෙන් සම්මත වීමෙන් පසුව කාරක සභා අවස්ථාවේදී 22 වන සංශෝධනය 21 වන සංශෝධනය ලෙස හැඳින්වීමට යෝජනා කෙරුණු අතර ඊට සභාව එකඟ විය.
21 වන සංශෝධනය බවට හැඳින්වූ සංශෝධනයේ සහ වත්මන් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ඉදිරිපත් කළ 22 වන සංශෝධනයේ ඇතුළත් කරුණු මොනවා ද?
අමාත්‍ය හර්ෂණ නානායක්කාර ඉදිරිපත් කළ සංශෝධන මොනවා ද?
වත්මන් අධිකරණ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 වන ව්‍යවස්ථාවේ 5 වන අනුව්‍යවස්ථාව සහ 137 වන ව්‍යවස්ථාව මෙමගින් සංශෝධනය කිරීමට යෝජනා කර තිබේ.
ඒ අනුව, 'ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයන් විශ්‍රාම ගත යුතු වයස 67 වන අතර, අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරයන් විශ්‍රාම ගත යුතු වයස 65 වන්නේ ය' යනුවෙන් එහි සඳහන් වේ.
ඊට අමතරව, අග්‍රවිනිශ්චයකාරවරයා විශ්‍රාම ගත යුතු කාල සීමාවක් පිළිබඳව ද එහි දක්වා තිබේ.
ඒ අනුව, 'අග්‍රවිනිශ්චයකාරවරයා විශ්‍රාම ගත යුතු දිනය ඔහු වයස අවුරුදු 67ට එළඹෙන දිනය හෝ ඔහු විනිශ්චයකාර ධූරයට පත්වන දිනයේ සිට වසර 6ක කාලසීමාවක් සම්පූර්ණ වන දිනය යන දින දෙකෙන් කලින් එළඹෙන දිනය වන්නේ ය.'
තව ද, 137 වන වගන්තිය සංශෝධනය කරමින් අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන් '19 දෙනෙකුට නොවැඩි සංඛ්‍යාවක්' යන්න වෙනුවට '24 දෙනෙකුට නොවැඩි සංඛ්‍යාවක්' යනුවෙන් සංශෝධනය කිරීමට යෝජනා කර තිබේ.
මේ අතර, අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයකින් නිකුත් කර ඇති අතර, එමගින් සෙසු විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 61 සිට 63 දක්වා වැඩි කිරීමට යෝජිත ය.
විවිධ පාර්ශවවලින් දැඩි විරෝධයක්
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ දැමීම සම්බන්ධයෙන් පාර්ශව රැසක් විරෝධය පළ කර තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ද ඇතුළුව සියලු ම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට ජූලි 27 වන දා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබිණි.
මේ සම්බන්ධයෙන් මේ වනවිට නීති ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් මතුව තිබේ.
එම යෝජනාවට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය, දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන අවස්ථා ගණනාවකදී සිය විරෝධය ප්‍රකාශයට පත්කර ඇත.
කෙසේ වෙතත්, රජය පවසන්නේ නඩු විභාග කිරීම්වල පවතින ප්‍රමාදය වැළැක්වීම සඳහා මෙම වෙනස්කම් සිදුකිරීමට සිදුව ඇති බව ය.
21 වන සංශෝධනයට යෝජනා කළ කරුණුවල අරමුණු මොනවා ද?
21 වන ව්‍යවස්ථා සංශෝධනයේ මූලික කාර්යයක් වූයේ, ව්‍යවස්ථාදායක සභාවක් පාර්ලිමේන්තුව තුළ ස්ථාපනය කිරීම ය.
අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ එහිදී අවධාරණය කළේ, විධායක ජනාධිපතිවරයා සතු තනි බලය යම් අධීක්ෂණයකින් හා සුපරීක්ෂාකාරීව ක්‍රියාත්මක කිරීම සඳහා ව්‍යස්ථාදායක සභාවක් පාර්ලිමේන්තුව තුළ ස්ථාපනය කෙරෙන බව ය.
කතානායක, අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂනායකවරයා නිල බලයෙන් ව්‍යවස්ථාදායක සභාවට පත්වූහ.
ජනාධිපතිවරයා පත් කරන මන්ත්‍රීවරයෙක්, අග්‍රාමාත්‍යවරයා නියෝජනය කරන පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක්, කුඩා දේශපාලන පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක්, විපක්ෂ නායකවරයා නියෝජනය කරන පක්ෂයේ මන්ත්‍රීවරයෙක් සහ සිවිල් සමාජ නියෝජිතයින් 3 දෙනෙක් ව්‍යවස්ථාදායක සභාව සඳහා පත්වෙති.
අධිකරණ හා රාජ්‍ය සේවය ස්වාධීන කිරීම මෙම ව්‍යවස්ථා සංශෝධනයේ තවත් මූලික අරමුණක් විය.
ඒ අනුව අගවිනිසුරු ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, අභියාචනාධිකරණ සභාපති සහ විනිසුරුවරුන්, අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපති නිලබලයෙන් සහ විනිසුරුවරුන්, නීතිපතිවරයා, මහබැංකු අධිපතිවරයා, විගණකාධිපතිවරයා, පොලිස්පතිවරයා, පාර්ලිමේන්තු මහ ලේකම්වරයා, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ඔම්බුඩ්ස්මන් පත්කළ යුත්තේ ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියට යටත්ව ය.
මැතිවරණ කොමිෂන් සභාව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව, මානව හිමිකම් කොමිෂන් සභාව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභාව, සීමා නිර්ණය කොමිෂන් සභාව සඳහා සාමාජිකයින් පත්කිරීම ද ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියට යටත්ව පත්කළ යුතු ය.
ප්‍රසම්පාදන කොමිෂන් සභාවක් හා විගණන කොමිෂන් සභාවක් නැවත පිහිටුවීමට ද 21 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් යෝජනා කර තිබිණි.
එම ව්‍යවස්ථා සංශෝධනයේ අරමුණු:
- ව්‍යවස්ථාදායක සභාවට දේශපාලන පක්ෂ නියෝජිතයින් පත් කිරීමේ බලය කතානායක අධීක්ෂණයට යටතට පත් කිරීම.
- මහ බැංකුවේ අධිපතිවරයා පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ලබා ගත යුතු ය.
- ජනාධිපතිවරයා අනිවාර්යෙන් ආරක්ෂක අමාත්‍යංශය දැරිය යුතු ය.
- යම් පනත් කෙටුම්පතක නීත්‍යනුකූලභාවය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රශ්න කිරීමට ජනතාවට අවස්ථාව ඇති අතර ඒ සඳහා ලබා දෙන කාලය දින 14 දක්වා වැඩි කිරීමට යෝජනා කර ඇත.
- දූෂණයට එරෙහිව පනවන නීති දැඩි කෙරේ. - දුෂණ විරෝධී නීති සම්මත කර ගැනීමට පියවර.
- අමාත්‍යංශයක අමාත්‍යවරයෙකු ධුර දැරීම නතරවුවහොත්, අලුත් ලේකම්වරයෙකු පත් කරන තෙක් සිටින ලේකම්වරයා අමාත්‍යංශයේ වගකීම් දැරිය යුතුය.
- අණ පනත් කාරක සභා අවස්ථාවේදී සංශෝධන ගෙන එන්නේ නම්, හරයට බලපාන සංශෝධන කළ නොහැකිය.
- ජනාධිපති සමාව ලබා දීමේ ක්‍රමවේදය පිළිබඳ සමාලෝචනය.
- ලේකම්, පළාත් ආණ්ඩුකාරවරු පත් කිරීමේ නිර්ණායක සැකසීම.
- ස්වාධීන කොමිෂන් සභාවල ස්වාධීනත්වය.
පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් 2022 ඔක්තෝබර් 21 වන දා සම්මත වූ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන ඔක්තෝබර් 31 වන දා සිය සහතිකය සටහන් කළ අතර, එදින සිට එය 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ලෙස බලාත්මක විය.